හික්කඩුවේ ඝාතනයට පොඩි ලැසී ඇතුළු 5කට අධි චෝදනා

0
30

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයට තුවාල කිරීම සම්බන්ධයෙන්. අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ අධි චෝදනා දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ භාරදෙනු ලැබීය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස  අරමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී, තුයියාහන්දි ප්‍රියංකර, මෙරිඤ්ඤ ශ්‍රී  මාල් තුෂර, ලද්දු සුරාජ් සමින්ද ලක්ෂාන්, කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් පස් දෙනා නම් කර ඇත.

අධි චෝදනා භාරදෙන අවස්ථාවේ දෙවැනි විත්තිකරු වන තුයියාහන්දි ප්‍රියංකර සහ පස්වැනි විත්තිකරු වන කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියේ නැත.

මේ නිසා එම සැකකරුවන්ට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කරන ලද ඇප මුදල් රාජසන්තක කොට එය දඩ මුදලක් ලෙස අයකර ගැනීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

හික්කඩුව පොලිස් වසමේ අවන්හලක් ඉදිරිපිටදී 2015 මාර්තු 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අගම්පොඩි මනෝජ් පුෂ්ප කුමාර යන අයගේ මරණය සිදු කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, එම ක්‍රියාකලාපයේදීම රන්දුනු සුසන්ත යන අයට වෙඩි තබා තුවාල සිදු කිරීම, එම ක්‍රියාකලාපයේදීම කලුමිත් සනත් වසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීම ඇතුළු අධි චෝදනා හතක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අධි චෝදනා භාර දීමෙන් පසු එක් අයකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

පළමුවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ උපදෙස් පරිදි නීතිඥ පසි¾දු සිල්වා 3, 4 විත්තිකරුවන් වෙනුවෙන් කේ.ජී. සෂික සිලාන් සහ හරිෂ්ක සමරනායක යන නීතිඥවරු පෙනී සිටියහ.

නඩු විභාගය ලබන වසරේ මාර්තු 21 වැනිදාට කල් තබන ලදී.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්