සියල්ලම අමූලික බොරුද?

0
57

පාර්ලිමේන්තුව ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් කිරීමට උත්සාහ දැරීම ගැන තමා සතුටු වන බව පසුගිය 21දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය. ඔහු ඒ ප්‍රකාශය කළේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කණ්ඩායමක් කළ කී කතා ගැන විය යුතුය. එසේ වුවද ඇතැම් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න විමසන විට ඊට දෙන පිළිතුරු ප්‍රබුද්ධභාවය හෝ සංවාදශීලීභාවය ගෑවිලාවත් නැති තරම්ය. ඒ පිළිබඳ අවධානය යොමු කරන කල පෙනෙන්නේ ඇමැති බන්දුල කියන ආකාරයේ ප්‍රබුද්ධත්වයක් පාර්ලිමේන්තුවේ නැති බවය.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න විමසූ ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දෙනු පෙනිණි. ඔහුගේ කෙටි පිළිතුර වූයේ ඒ සියල්ල අමූලික බොරු බවයි. රෝහිණී ප්‍රශ්න ගත තොරතුරු ඉදිරිපත් කළේ ජාතික පුවත්පතක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින්ය. කෙහෙළිය අමූලික බොරුයි කියා කීවේ එම වාර්තාද? එසේ නැත්නම් රෝහිණී දිගින් දිගට ඉදිරිපත් කළ තොරතුරුද? එය නිශ්චිතවම පිළිතුරෙහි අන්තර්ගතව ඇති බවක් නොපෙනුණත් ඇමැති බන්දුල අපේක්ෂා කළ ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක ස්වරූපය නම් ඒ මොහොතේ ඇමැති කෙහෙළියගේ පිළිතුරෙන් නොපෙනිණි.

මවුවරුන්ට හා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නම් වූ විසකාරක අන්තර්ගතය යන පුවත අසත්‍යයකැයි කියන්නට හෝ එම විසකාරක ත්‍රිපෝෂවල අන්තර්ගතය කියා කියන්නට හෝ පැහැදිලි සාක්ෂි තිබිය යුතුය. පුවත්පතක පළවන වාර්තාව සාක්ෂියක් නොවුණත් එය තොරතුරකි.

සත්‍යය හා විශ්වසනීයභාවය ජාතික පුවත්පතක ප්‍රවෘත්ති මූලධර්ම අතර ප්‍රමුඛ වූ සාධකයක් බව අමාත්‍ය කෙහෙළිය නොදන්නවා වන්නට බැරිය. එහෙත් මාධ්‍ය සම්බන්ධව නඟන චෝදනා අනුව නම් පෙනෙන්නේ ඔහු බොහෝ දේ නොදන්නා බවය.

මවුවරුන්ට හා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන්  විසකාරක අන්තර්ගත බවට අසත්‍ය තොරතුරු  පැතිර වූ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බව ඇමැති කෙහෙළිය කියයි. ටොන් දෙකකින් ග්‍රෑම් දෙකක් අරගෙන පරීක්ෂා කරලා ඒ වාර්තාව අරගෙන පත්තරවලින්  ගහනවා කියා ඔහු කියයි. 

විද්‍යාත්මක පරීක්ෂණවලදී සාම්පල හෝ නියැදි මිසක ටොන් ගණන් පරීක්ෂා කරන ක්‍රමවේදයක් ගැන කොහේවත් සඳහනක් නැත. මේ රටේ හැම කෙනාම බුද්ධ පූජාව කන්නේ නැති බවද කෙහෙළිය කියයි. පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස්දෙනාට බුද්ධ පූජාව කන්නට අවශ්‍ය නැත. යමක් කමක් තියෙන අඩුපාඩුවක් නැති පුද්ගලයන්ටද එහෙම වැඩ අවශ්‍ය නැත. ඒත් මේ රටේ අන්ත අසරණව සිටින විශාල ජන කොටසකි. අන්තිමට ඔවුන්ට සිදුවනු ඇත්තේ බුද්ධ පූජාව හෝ කන්නටය.

මන්ත්‍රි රෝහිණී පුවත්පතක පුවතක් අවධාරණය කරමින් මේ රටේ මන්දපෝෂණය ගැන කතා කළාය. පුවතට මූලාශ්‍රය වී තිබුණේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයක් මඟින් කළ සමීක්ෂණයකි. සංවිධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව එම සමීක්ෂණයේ තොරතුරු මාධ්‍ය හමුවට ගෙනැවිත් තිබේ. සමීක්ෂණයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් නිරීක්ෂණය කොට ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ තෝරාගත් නියැදියක් මුල් කරගෙන කරන ලද සහභාගිත්ව සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එම ප්‍රදේශයේ දරුවන්ගෙන් 30%ක් උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙහි පසු වූහ. 50%ක් සාමාන්‍ය මන්දපෝෂණ තත්ත්වයෙහිය. ඉතිරි 20% වුවද මන්දපෝෂණ තත්ත්වයට ළඟාවෙමින් සිටියහ. මේ රටේ එක් ප්‍රදේශයක  තත්ත්වය මෙසේය. මේවා පට්ටපල් බොරුය කියා මාධ්‍යයට හෝ නිලධාරීන්ට ‍ෙදාස් කියා නිහඬ වීම ඉතා පහසුය. එහෙත් පිළිතුරු සෙවීම පහසු නැත.

මන්දපෝෂණය සම්බන්ධව ඉදිරිපත් වූ යුනිසෙෆ් වාර්තාව පවා ප්‍රතික්ෂේප කරන්නට සමත් නිලධාරීහු මේ රටේ සිටිති. විෂය භාර අමාත්‍යවරයාටද ඒවා අපහසු නැත. ඇත්ත ඇති හැටියට හෙළි කිරීම සංවිධානාත්මක දේශපාලන වැඩපිළිවෙළක් විය හැකිද? තොරතුරු හෙළි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අමාත්‍යාංශයට කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් හෝ ඔහු අපහසුතාවට පත් කිරීමෙන් හෝ ප්‍රශ්නය විසඳිය නොහැකිය. සොයා බැලිය යුත්තේ මේ කියන දේ ඇත්තද කියාය. ඇත්ත නම් ඊට වහා ප්‍රතික්‍රියා දැක්විය යුතුය. ජනතාව, මතු සිදුවිය හැකි බරපතළ විපත්වලින් මුදා ගත යුතුය.

ගැබිනි මවුවරුන්ට හා දරුවන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදිය යුතු බවට ගොඩනැඟුණු කතිකාව කලක සිට කරළියට පැමිණ තිබේ. මේ සම්බන්ධව උපදෙස් පමණක් නොසෑහෙයි. සහන මලු දීමනා ගැන කතන්දර නම් ඕනෑ තරම් ඇසෙයි. මෙදා අය-වැයෙහිද විසි දහසක් වූ සහනාධාරයක් ගැන කියා ඇත. දීපු සහනත් මාස ගණනකට පෙර නතර කර ඇති බවට මැසිවිලිය. තත්ත්වය මෙසේ තිබියදී  රටපුරා රජයේ වෛද්‍ය නිලධාරි කාර්යාල මුල් කරගෙන ත්‍රිපෝෂ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟිණි.  “අපි ඇවිත් ඔන්න වැඩේ ගොඩ දැම්මා” කියන්නට හැකිවනු ඇතැයි සිතාගෙන විය යුතුය. එහෙත් සිදුවුණේ නොසිතූවිරූ අකරතැබ්බයකි.

බෙදාහරින ලද ත්‍රිපෝෂ මලු ආපසු එකතු කරන්නට පටන්ගෙනය. ශ්‍රී  ලංකා ප්‍රමිති නිර්දේශ අනුව ආහාර සංඝටක කොටස් බිලියන එකකට ඇෆ්ලටොක්සීන් කොටස් ප්‍රමාණය 30 ඉක්මවා තිබේ නම් එම ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසුය. එය වෛද්‍ය මතයයි. බෙදාහැර තිබූ ත්‍රිපෝෂවල අපේක්ෂිත තත්ත්වය නොමැති බවට පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබිණි.

නාගොඩ සෞඛ්‍ය විද්‍යායතනයට ඉකුත් අගෝස්තු 20දා ලැබුණු සාම්පල් අනුව පරීක්ෂණ වාර්තා 6ක්ම ඉදිරිපත්ව ඇති බව කියයි. මේ අතර කොළඹ, ගම්පහ,  පුත්තලම හා කැගල්ල දිස්ත්‍රික්ක 4 තුළ බෙදාහැර තිබෙන ත්‍රිපෝෂ තොග යළි කැඳවා තිබේ. පසුගිය වසරේ අග සිට මේ වසරේ අගෝස්තු දක්වා ත්‍රිපෝෂ කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදනය කළ ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන්  අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඇති බවටද තොරතුරකි.

ඇෆ්ලටොක්සීන් යනු උග්‍ර විස කාරකයකි. එය පිළිකා ඇති කිරීමට හා අක්මාවට හානි කිරීමට බලපාන බව වෛද්‍ය මතයයි.  එසේනම් මේ වැකිය ලියන මොහොත වන විටත් මේ රටේ දරුවන්ට, මවුවරුන්ට  ලබාදී තිබෙන ත්‍රිපෝෂ සම්බන්ධව කිව හැකි වන්නේ කුමක්ද?  දැන් ඉතින් මොනවා කරන්නද? විස වුණත් කාලා ඉවරයි. එහෙම කියා හිත හදා ගන්නට හැකිය. ප්‍රතිඵල ලැබෙන්නට තවත් කාලයක් ගතවන බැවිනි.

මන්දපෝෂණයේ අප ඉන්නා තැන කොහොමටත් හොඳ නැත. ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වුවද කලබල වී අදූරදර්ශීව ගත යුතු නැත. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසූ විට අමූලික බොරුය කියා නිහඬ වන අමාත්‍යවරුන් මේ රටට කුමටද? අවශ්‍ය වන්නේ ප්‍රශ්න නිසි පරිදි වටහා ගෙන ඒවාට නිසි පරිදි කඩිනමින් පිළිතුරු සොයන ඇමැතිවරුන්ය. සැබෑ ප්‍රශ්න රට හමුවේ තබන මන්ත්‍රිවරුන්ය. ප්‍රශ්නවලින් පලායන වචීපරමයන්ගෙන් මේ රටට පලක් නැත.