සමාගම් එක්ලක්ෂ පන්දහසකින් 2021 බදු ගෙවා ඇත්තේ පහළොස්දහස් හැටනවයයි

0
11

මෙරට ලියාපදිංචි සමාගම් එක්ලක්ෂ පන්දහසකින් 2021 වසරේ බදු ගෙවා ඇත්තේ සමාගම් පහළොස්දහස් හැටනවයක් පමණකැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පෙරේදා (21දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. වැට් එකෙන් එකතු කළ හැක්කේ රුපියල් බිලියන දාහක් වුණත්, හරියට බදු එකතු කළහොත් රුපියල් බිලියන හාරදාහක් එකතු කළ හැකි යැයිද මන්ත්‍රිවරයා කීය.

ඔහු තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. බරපතළ ආර්ථික අර්බුදයක් පවතින විටයි මේ විවාදය ගේන්නේ. ලබන මාසෙ වෙද්දි රාජ්‍ය  සේවකයන්ට වැටුප් ගෙවන්න බැහැ කියලා මහ භාණ්ඩාගාරය කියනවා. මේ අර්බුදයෙන් ගොඩඑන්න බදු ආදායම කළමනාකරණය කළ යුතුයි කියන යෝජනාව අපි කරනවා. රාජ්‍ය ආදායම කළමනාකරණය කළොත් මේ අර්බුදයෙන්  සියයට අසූවක් අවසන්.

අපේ ප්‍රධාන ආදායම් එකතු කරන්නා දෙපාර්තමේන්තුවයි. මිලියන විසි දෙකක් වන ජනගහනයෙන් බදු ලිපිගොනු විවෘත කර තිබෙන්නේ දෙලක්ෂ අනූ පන්දහසයි. 2021 වසරේ බදු ගෙවන්නේ පනස් නවදහසයි. ඒ අතරින් රුපියල් දහදාහට අඩුවෙන් බදුගෙවන සංඛ්‍යාව විසිඅටදහස් හයසිය විසි එකක්. ලක්ෂයට අඩුවෙන් බදු ගෙවන්නේ විසි දෙදහස් තුන්සිය හැට හතක්. පන්දහස් හාරසිය අනූවක් ලක්ෂ පහට අඩුවෙන් බදු ගෙවන්නේ. ලක්ෂ දහයට අඩුවෙන් ගෙවන අය එක්දහස් හාරසිය අනූවයි. ලක්ෂ පනහට වැඩිය  බදු ගෙවන අය ඉන්නේ එකසිය තිස්හතයි.

ඒ වගේම ලියාපදිංචි සමාගම් එක්ලක්ෂ පන්දහසක් තිබෙනවා. හැට දහස් හත්සියයක් බදු ලිපිගොනු දීලා තිබෙනවා. එක්ලක්ෂ පන්දහසක් වන සමාගම්වලින් 2021  බදු ගෙවලා තිබෙන්නේ 15,069යි. මේ  සමාගම් ගෙවූ බදු ප්‍රතිශතයෙන් සියයට 82ක් ගෙවා තිබෙන්නේ  සමාගම් 343යි. ඊළඟට වැට් එක. ආයතන 9,089ක් වැට් සඳහා ලියාපදිංචි වෙලා තිබෙනවා. වැට් එක ගෙවා තිබෙන්නේ 185යි.  සියලු සමාගම් සහ පුද්ගලයන් ගත්තොත් 665යි හරියට ආදායම් බදු ගෙවලා තිබෙන්නේ.

ඊළඟට අපි බද්දක් ඇති කළා ඉඩම් අලෙවියේදී ලැබෙන ලාභයට සියයට දහයක බද්දක් ගහන්න. ගාල්ලේ කොටුව ඇතුළේ ඉඩමක් මිලට ගන්නවා මිලියන දෙසිය පනහකට. ඒ ඉඩම විකුණනවා මිලියන දෙදහසකට. ලාභය මිලියන 1750යි. ඔහු ආදායම් බද්ද වශයෙන් ගෙවන්නෙ ලක්ෂ විස්සයි. මේක හරහා විතරක් ටි්‍රලියනක බදු එකතු කළ හැකි වෙනවා. බදු හරියට එකතු කළොත් බිලියන 4000ක් එකතුකර ගත හැකියි. වැට් එකෙන් විතරක් බිලියන 1000ක් එකතු කර ගත හැකියි.

ඊළඟට විදේශවල ලක්ෂ 15ක් ඉන්නවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නීතියක් තිබෙනවා විදේශ ගත ශ්‍රමිකයන්ට බදු නිදහසක් දී තිබෙනවා. ඒ නිදහස ලැබෙන්නේ තමන් උපයන මුදල් මෙරට බැංකුවලට එව්වොත් විතරයි. 2021දී සියයට 8ක්වත් ප්‍රේෂණය කරලා නැහැ. එහෙම නම් දෙපාර්තමේන්තුව ඒ අයට ලියුම් යවලා කියන්න ඕනෑ මුදල් එවන්න කියලා. බද්ද ගන්නෙත් නැහැ. මුදල් ලැබෙන්නෙත් නැහැ. ලියුම යවන්නෙත් නැහැ. මේ නිසා මිලියන 300කට වැඩි මුදලක් අහිමි වෙනවා .

නගර සභා ආඥා පනත වසර පනහකින් සංශෝධනය කරලා නැහැ. දැව ප්‍රවාහනය, ගල් වැලි ප්‍රවාහනය මේ කියන දේවලින් ආණ්ඩුවට ලැබෙන්නෙ කීයද. මේ බදුනොගෙවීම් කරන ව්‍යාපාරිකයන් ගැන පාර්ලිමේන්තුවේ කතා කළාට  පස්සෙ එක්කෙනෙක් යූ ටියුබ් චැනල්වලින් මට මඩගැහැව්වා බාර් තියෙනවා කියලා. එස්.  එල්. ලොක් කියලා. මම බය නැහැ. නිමි ඇ¾දුම් නිෂ්පාදකයන් බදු ගෙවන්නේ නැහැ. කොටුවේ තොග වෙළෙන්‍ෙදා බදු ගෙවන්නේ නැහැ. ටයර් නිෂ්පාදකයෝ බදු ගෙවන්නෙ නැහැ. මට මඩ ගැසූ කෙනාගේ බැංකුවේ ගිණුම් තොරතුරු මම ගත්තා. 2021 වසරේ ඒ ගිණුමට රුපියල් බිලියන 37ක් ඇවිල්ලා තිබෙනවා. නමුත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පෙන්වන්නේ බිලියන 5යි. 2020 ඔහුගේ ගිණුමට බිලියන 33ක් ඇවිත්. පෙන්වන්නේ බිලියන 3යි. මේ පුද්ගලයා වසර පහක් සත පහක්  බදු ගෙවලා නැහැ.

රේස්බයි රේස් ස්ථාන 646ක් තිබෙනවා.  මේ මහත්තුරු බිලියන විසිතුනක් වසරකට ලාභ ලබනවා. බදු ගෙවන්නේ නැහැ. කැසිනෝ අයත් එහෙමයි. ඉන්ධන පිරවුම්හල් 1890ක් තියෙනවා. එක බවුසරකින් ලාභය රුපියල් 94,000යි. බවුසර් පහක් අලෙවිකරන පිරවුම්හල් තිබෙනවා. ඒ අයත් මාසෙකට ගෙවන උපරිම බද්ද  ලක්ෂ දෙකයි.  අපි ආදර්ශයක් දෙමු. අපි සියලු දෙනා බදු ෆයිල් පටන්ගමු. මගේ වත්කම් බැරකම් අද මම ප්‍රසිද්ධියට පත් කරනවා. 

මම කියනවා  වරලත් ගණකාධිකාරිවරුන් ගැනත් සොයා බලන්න. ඒ අය තමයි බදු හොරට හදන්නේ. මේ ආයතන විසිහතක් තිබෙනවා. ඒ ගැනත් සොයා බැලිය යුතුයි. 

මම මේ ගැන එදා කතා කළ පසු ආදායම් බදු කොමසාරිස් සංගමයේ සභාපතිවරයා  මාධ්‍ය  සාකච්ඡාවක් තියලා මට චෝදනා කළා. කොමසාරිස්තුමා මට චෝදනා කරන්න කලින් ඔබතුමාගෙ කාර් සේල් එකට බදු ගෙවලා ඉන්න. බදු නොගෙවන අය නීතිය හමුවට ගෙන ඒම අවශ්‍යයි.

විදුලිබල මණ්ඩලයේ මිලියන තුනට වැඩි වැටුප් ලබන අය එකෙළොස් දහසක් විතර ඉන්නවා. ඒ අය උපයනවිට බද්ද ගෙවන්නේ නැහැ. රාජ්‍ය බැංකුත් එහෙමයි. ඇයි එහෙම නොකරන්නේ.