වෛද්‍ය විශ්‍රාම වයස වෙනස් කිරීම ව්‍යාකූල තත්ත්වයක්

0
18

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවස්ථා කිහිපයකදීම වෙනස් කිරීම නිසා බරපතළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානයට ලක් කළේය.

විශේෂඥ වෛද්‍යවරයෙක් බිහිවෙන්න අවම වශයෙන් අවුරුදු 12ක් යනවා. එවකට හිටපු රජය විශ්‍රාමික වයස 63 දක්වා දීර්ඝ කළා. 2022 අය-වැය යෝජනාව තුළ ඒ විශ්‍රාමික වයස 65 කළා. අතුරු අය-වැයේදී ඒක 60 බවට පත් කරලා තියෙනවා. සැප්තැම්බර් 01 වැනිදා ආයෙත් 63 කරලා. සැප්තැම්බර් 14 වැනිදා ආයෙත් 60 කරලා. දැවැන්ත කඩා වැටීමක් සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙනවා කියන එක බොහොම පැහැදිලිව තියෙනවා. මේක විහිළුවට කාරණාවක් නොවෙයි. මේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ගැන කතා කරන්නේ.

පාර්ලිමේන්තුවේ විශ්‍රාමික වයස ගැන වැඩක් නැහැ අලුත්ගමගේ මන්ත්‍රිතුමා. වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් විදේශ විභාගවලට යොමුවෙලා තියෙනවා. බොහෝ වෛද්‍යවරුන් රට අතහැර යනවා. පශ්චාත් උපාධි පුහුණුව සඳහා රට ගිය අය ආපසු එන එක ගැන බරපතළ අවදානමක් තියෙනවා. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩන් වැටුණොත් ඒක ලක්‍ෂ 220ටම බලපානවා. ඒක මේක ඇතුළේ ඉන්න 225ටමත් බලපානවා. ජනාධිපතිවරයාටත් බලපානවා. මෙන්න මෙතැන ජාතික ප්‍රතිපත්තියක් ඕන නේද. මේ සංස්කෘතිය තුළ රටට ඉදිරි ගමනක් නැහැ.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල,

ඔය කියවපු පත්‍රිකාව මගෙ ළඟත් ඔය විධියටම තියෙනවා. ප්‍රතිවිරුද්ධව තියෙන කණ්ඩායමේ පත්‍රිකාව ඔබතුමාට ලැබෙන්නේ නැතිව ඇති. ඒක මම ලැබෙන්න සලස්වන්නම්.

2017 මේ රටේ විශේෂඥ වෛද්‍යවරු 1560ක් හිටියා. මේ වන විට ඉන්නවා 2380ක්. 800කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුදු 05කට වැඩිවෙලා තියෙනවා. සියලුම අංශ එක්ක සාකච්ඡා කරලා ජාතික ප්‍රතිපත්තියක් ගැන කතා කරන එක නම් ඉතාමත්ම වැදගත්. රටට සුදුසු දේ කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. යම්කිසි පදනමක් උඩ ඔවුන්ගේ සේවාවන් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළක් ගැන අපි සාකච්ඡා කරන්න එනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස,

මේ ඉදිරිපත් කළ කාරණාව ඔහොම එක පාරම ඩිස්මිස් කරන්න එපා. ඔබතුමන් මේ රටේ පූර්ව ඛේදවාචකයේ කොටස්කරුවෙක්. මේක සමච්චලයට ලක්කරන්න එපා. එක පත්‍රිකාවක් කියවලයි මේ ප්‍රශ්නය අහන්නේ කියලා. අනෙක් පත්‍රිකාව කියෙව්වේ නැහැ කියලා. මම මේ ඉදිරිපත් කරන කාරණාව සාවද්‍ය නම් ඒක ඩිස්මිස් කරන්න. ඔය හැමදේම අධ්‍යයනය කරලා තමයි 2020 ජනවාරි 01 වැනිදා ඉඳලා මේ ඔක්කොම ගැන කිව්වේ. තමුන්නාන්සේලා හැමදේම ඩිස්මිස් කරලා අද රට බංකොලොත් වෙලා තියෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල,

මගේ ඩිස්මිස් කිරීමක් නෙවෙයි. මගේ කතාව තේරුම් ගත්තේ නැති එක ගැන මම කනගාටු වෙනවා. ඒක වෙන්නැති මගෙන් කියන්න එතුමා බලාපොරොත්තු වුණ දේ. අනෙක් පාර්ශ්වයට කියන්න ඒක ඩිස්මිස් කළා ඒ නිසා කරන්න දෙයක් නැහැ කියලා. මේ සෑම ප්‍රශ්නයකටම පැති දෙකක් තියෙනවා කියන එකත් මතක තියා ගන්න. එතුමා ගැන හොඳට දන්නා නිසා මම කොහෙත්ම කනගාටු වෙන්නේ නැහැ. කාටත් අසාධාරණයක් නොවන විධියට, සමාජයට අසාධාරණයක් නොවන විධියට කටයුතු කරනවා කියන සහතිකය මේ පාර්ලිමේන්තුවට මම ලබා දෙනවා.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි