විධිමත් මගී ප්‍රවාහන සේවයක අවශ්‍යතාව ඉටුවිය යුතුයි

0
6

රටේ ජනතාවට සෘජුව බලපාන සේවාවක් සපයන ආයතන රැසක් භාර අමාත්‍යාංශයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය සැලකිය හැකිය. ඒ හැර අමාත්‍යාංශ කොතරම් තිබුණත් ජනතාවට අවංක සේවාවක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ජනතා අවශ්‍යතා නිසි පරිදි අවබෝධ කර නොගැනීම සහ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ යන්නන් වාලේ නිසා ඇති වූ ජනතා පීඩනය නිදහස් අරගලයක් ලෙස පසුගියදා සමාජයේ පිළිඹිඹු විය.

අරගලයට ආසන්නම හේතු ලෙස ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, කෘෂි රසායනික නොමැතිවීම, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, පාසල් වැසීම, රටේ සේවා අකර්මණ්‍ය    වීම හා භාණ්ඩ මිල ඉහළ යෑම දැක්විය හැකිය. දේශපාලකයාගෙන් ජනතාවට සිදු වූ නොසලකා) හැරීම්, මහජන මුදල් ගසාකෑම්, සොරකම, වංචාව, දූෂණය මේ ආදී දහසකුත් එකක් ගැටලු හමුවේ ගමේ අහිංසක කම්කරුවාත් අසරණ මවුවරුනුත් මේ අරගලයේ කොටස්කරුවන් බවට පත් වීම වැළැක්විය නොහැක්කක් විය.

රාජ්‍ය ආයතන වලින් ජනතා අවශ්‍යතා නිසි පරිදි ඉටු නොවීම, විවිධ අවශ්‍යතා අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම ඇතැම් අවස්ථාවල අල්ලස් දීමට සිදුවීමෙන්ම දේශපාලන බලවතා තමාගේ අභිමතාර්ථ පරිදි ජනතා මතවලට පිටුපා කටයුතු කිරීම, වංචනික ලෙස දේපළ රැස් කිරීම රටේ ජනතාවගේ දැඩි පිළිකුලට හේතු වූ බව ඉන් පැහැදිලි විය. ජනතාවගේ ඡන්දය සිඟා කමින්, විවිධ බොරු පොරොන්දු දෙමින් බලයට පත් වූ පසු ජනතා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේලාව ලබාදීම මඟහැරීම සහ ඔවුන් වෙනම ජන කොට්ඨාසයක් ලෙස වැජඹීමට කටයුතු කිරීම ජනතාව ප්‍රතික්‍ෂේප කළහ. ජනතා නියෝජිතයන් වශයෙන් තමා වෙත පැවැරෙන වගකීම නිසි පරිදි ඉටු කළේ නම්, මේ තරම් රට අගාධයකට නොවැටෙන්නට ඉඩ තිබිණි.

සිස්ටම් චේන්ජ් එකක් තුළින් ඇමැති තනතුරු හෝ රාජ්‍ය නිලතලවලට දූෂිත තවත් පිරිසක් පත් කිරීම ජනතාවගේ අපේක්‍ෂාව නොවීය. කෙසේ වෙතත් මෙම කරුණු සටහන් කළේ ඉදිරියට හෝ මේ තත්ත්වය වළක්වාගෙන ජනතා සේවය සඳහා සත්භාවයෙන් කටයුතු කරනා පිරිසක් වත්මන්  225 තුළත් සිටින බැවිනි. මේ සිහිපත් කිරීම සමඟ ප්‍රවාහන ඇමැතිවරයා වෙත පහත සඳහන් යෝජනා කිහිපය ඉදිරිපත් කරමි.

දුම්රිය සේවාව මේ රටේ ජනතාව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ප්‍රවාහන මාධ්‍යයකි. එසේම කොළඹ කේන්ද්‍රගතව පවතියි. වර්තමානයේ දකුණු දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දීර්ඝ කර ඇති බැවින් යාපනය, මහනුවර,

මඩකළපුව, බදුල්ල, ත්‍රිකුණාමලය, දක්වා  සේවාවන් බෙලිඅත්තෙන් හෝ මාතර සිට විධිමත්ව ආරම්භ කරන ලෙස ඉල්ලමු. විශේෂයෙන් උතුර දකුණ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමටත් උතුරේ සහ දකුණේ වෙළෙඳ ද්‍රව්‍ය අලෙවියටත් ප්‍රවාහනයටත් මෙය හොඳ අවස්ථාවක් මෙන්ම දුම්රිය ආදායම් වර්ධනය කර ගැනීමටද අවස්ථාවක් වනු ඇත. විශේෂයෙන් දකුණේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද ඉහත ගමනාන්ත දක්වා යන බැවින් ඔවුන්ට ඉන් වඩාත් පහසුවක් වනු ඇත.

බස් සේවාවේ ගමන් ගාස්තු මේ වන විට විශාල ලෙස වැඩි වී ඇත. දිළිඳු ජනතාව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙම සේවාවේ අර්ධ සුඛෝපභෝගී සේවා ලෙස නම් කරමින් කිසිදු අතිරේක පහසුකමක් නොමැතිව සාමාන්‍ය බස් රථවල ගමන් කරන මගීන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අධික ගාස්තු අය කර රැගෙන යෑම ජනතාව මංකොල්ලකෑමකි. ටිකට් නොදෙන පහසුකම් අවම මගී ප්‍රවාහන සේවාවන් මගී ජනතාවට අවශ්‍ය නොවේ. කාර්යක්ෂම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවාවක් රටකට ප්‍රමාණවත් වන අතර සුඛෝපභෝගී සේවා හැරුණු විට අතරමැදි මගීන් සූරා කන සේවා නතර කරන ලෙස ඉල්ලමි.

සෝමදාස කන්දෙගේ – මාතර