වතුර බට හොරකමට රිමාන්ඩ් කර සිටි පුද්ගලයාට ඇප

0
6

පානදුර මහාධිකරණ විනිසුරු නිල නිවෙසේ පීවීසී බට සොරකම් කිරීම සම්බන්ධයෙන් මාස තුනකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයකු ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදාහරින ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා පසුගිය 20දා නියම කළේය. මහරගම දුම්රියපොළ පාරේ පදිංචි දාම්පුර් ලියනගේ ජයනෙත් හිරාන් ජයසිංහ නමැති පුද්ගලයකු මෙසේ ඇපමත මුදාහැරිණි.

එකී නඩුවේ පැමිණිලිකරු වන අධිකරණ සේවක සහ විමර්ශන නිලධාරි එදින අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔවුන්ට සිතාසි නිකුත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඉකුත් ජුනි 8දා පානදුර මහාධිකරණ නිල නිවෙසට ඇතුළු වී එහි නළ ගලවා රුපියල් පහළොස් දහසක අනර්ථයක් සිදුකර ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය. අයුතු ඇතුළු වීම, අනර්ථයක් සිදුකිරීම, දේපොළ සොරකම් කිරීම සහ සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනා හතරක් යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

සැරයන් එච්.ඒ.යූ. ආනන්ද (13660) අධිකරණයට කරුණු වාර්තා කළ අතර, නොවැම්බර් මස 8 වැනිදා නඩුව විභාගයට කැඳවීමට නියමිතය.

පොතුපිටිය – සුමිත් රණවක