ලී දිරලා නිසා සැමියා ඒ වහල ගහන්න අදිමදි කළා

0
8

“කරුණාවතී නැන්දා මට දුරකථනයට කතා කරලා කිව්වා දුවේ වසන්ත වහලයෙන් වැටුණා ඉක්මනට එන්න කියලා” යැයි පැරණි නිවෙසක වහලයක් අලුත්වැඩියා කරමින් සිටියදී රීප්ප පටි තුනක් කඩාගෙන වැටී මිය ගිය දෙදරු පියාගේ හදිසි මරණ පරීක්ෂණයේදී බිරිය වන චිත්‍රානි කුසුමලතා මහත්මිය ඊයේ (22දා) සාක්ෂි දෙමින් පැවැසුවාය.

මෙලෙස මිය ගොස් තිබුණේ රඹුක්කන ‍ෙදාඹේමඩ පදිංචිව සිටි වසන්ත සරත් කුමාර නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි. මිය ගොස් ඇති දෙදරු පියා වෘත්තියෙන් වඩු වැඩ කරන්නෙකි. පෙරේදා (21දා) ‍ෙදාඹේමඩ ප්‍රදේශයේ පැරණි නිවෙසක වහලයක දිරා ගිය රීප්ප පටි ඉවත් කර ගැසීමට යෑමේදී  ඔහු රීප්ප පටි තුනක් කඩාගෙන වැටී රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබිණි.

පසුව තුවාලකරු වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (21දා) රාත්‍රි  ජීවිතක්ෂයට පත්ව තිබිණි. මිය ගිය දෙදරු පියාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (22දා) කෑගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය පුද්ගලයාගේ බිරිය වන චිත්‍රානි කුසුමලතා මහත්මිය.

“අපේ නිවෙසේ සිට මීටර් 400ක් පමණ අෑතින් කරුණාවතී කියලා නැන්දා කෙනෙක් සිටිනවා. ඒ නැන්දා මාස දෙක තුනකට ඉහතදී සැමියාට කියලා තියෙනවා නිවෙසේ වහලයේ රීප්ප පටි වගයක් දිරලා තියෙනවා. ඒ ටික ඉවත් කරලා ගහලා දෙන්න කියලා. ඒත් සැමියා අදිමදි කරමින් හිටියා මොකද වහලයේ ලී දිරලා හින්දා.

පෙරේදා (21දා) උදේ සුපුරුදු පරිදි කරුණාවතීගේ ගෙදර වැඩට ගියා. ගිහිල්ලා දවල් කෑමට 2ට 2.30ට පමණ ගෙදර ආවා. ඇවිල්ලා කිව්වා දිරලා තියෙන ලී ඉවත් කරලා ගහන්න ලී මදි කියලා. ආයේ කිව්වා වහලයේ උඩ ඉන්න බෑ අව්ව හරි සැරයි කියලා බත් කාලා ආපසු ගියා.

ගිහිල්ලා 3.30ට පමණ මගේ දුරකථනයට කරුණාවතී නැන්දා කතා කරලා වසන්ත වහලෙන් වැටුණා කියලා කිව්වා. මම බලන්න ගියේ නෑ. ඒ වෙනකොට කවිඳු පුතා පාසල් ගිහිල්ලා ඇවිල්ලා කෑම කාලා කාමරයට වෙලා හිටියා. පස්සේ මම පුතාට කිව්වා. පස්සේ පුතා යතුරුපැදියෙන් කරුණාවතීගේ ගෙදරට ගියා බලන්න. පුතා බලන්න යනකොට ත්‍රිරෝද රථයකින් රඹුක්කන රෝහලට රැගෙන ගිහිල්ලා තියෙනවා.

පස්සේ කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මූලික ප්‍රතිකාර ලබාදීලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තියෙනවා. පස්සේ පුතා ගෙදර ආවා. මට රෑ එළි වෙනකම් නින්ද ගියේ නෑ. පස්සේ මම ඊයේ (22දා) උදේ කෑගල්ල මහ රෝහලට සැමියා බලන්න ආවා. එතකොට මට දැනගන්න ලැබුණා සැමියා මිය ගිහිල්ලා තියෙනවා කියලා. මට මේ මරණය ගැන සැකයක් නෑ. කරුණාවතී නැන්දාගේ නිවෙසේ වහලය අලුත්වැඩියා කරන්න ගිහිල්ලා වහලයෙන් වැටිලා බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන්නට ඇතැයි විශ්වාස කර සිටිනවා.”

මිය ගිය දෙදරු පියාගේ පිරිමි දරුවා වන කවිඳු ඉරුෂාන් නමැති 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයාද හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන්නේය.

මිය ගිය දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22දා) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සම්පත් කුලතුංග මහතා විසින් පැවැත්වූ අතර වහලයකින් වැටීම නිසා මෙම අයගේ හිස් කබලට හා මොළයට සිදු වූ තුවාල හේතුවෙන් වූ හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා පැවැසීය.

දමුණුපොළ – චමින්ද ජයලත්