රට හදන තැන

0
65

ශ්‍රී  ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ පිළිබඳ විවාදවලදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) දැක්වූ අදහස්. පාර්ලිමේන්තුව අද (23දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අවුරුදු දෙකකින් පාසල් දරුවන්ට දිවා ආහාරය දීලා නැහැ : -මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

ප්‍රශ්න පැහැදිලිව තිබෙනවා ඒකට විසඳුම් සොයන්න ඕනෑ : – ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

මේ පිළිබඳව සොයාබලා වැඩපිළිවෙළක් ගේන්න : – සරත් කුමාරසිරි

‘දැන් පාසල්වල බත් බැංකු හදනවා. ලක්ෂ 11ක් දරුවන් නිරාහාරව ඉන්නවා. ඒ දරුවන්ට අවුරුදු 02කින් දිවා ආහාරය දීලා නැහැ. ඒක අපි පිළිගන්න ඕන. ඒක තමයි විද්‍යාත්මක පදනම” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවැසීය.

“විද්‍යාත්මක පදනමක් පිළිබඳ මගේ මිත්‍ර ඇමැතිතුමා කියන කාරණය මම පිළිගන්නවා. විද්‍යාත්මක පදනම මොකක්ද?”

“පාසල් දරුවෝ ලක්ෂ 42ක් ඉන්නවා. මේ ලක්ෂ 42න් ලක්ෂ 11කට දිවා ආහාර දෙනවා. ඒක තමයි විද්‍යාත්මක පදනම. දැන් අවුරුදු දෙකකින් මේ දිවා ආහාරය දෙන්න බැරිවෙලා තියෙනවා. ඒක මිනුවන්ගොඩ වුණේ නැහැ. අපේ මන්ත්‍රිතුමා කියන විධියට විලච්චියේ වුණා. මේ විවාදයෙන් වැඩක් නැහැනේ. විද්‍යාත්මක පදනම තමයි පාසල් පද්ධතියේ දරුවන්ගෙන් 1/4කට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒක කාගෙද වැරැද්ද කියන එක නෙවෙයි මෙතන තියෙන ගැටලුව. දරුවෝ පාසල් එන්නේ නැහැ. එන දරුවෝ කලන්තේ දාලා වැටෙනවා. විදුහල්පතිවරුන්ගේ දුක් ගැනවිල්ලක් තියෙනවා.”

“මම දැක්කා ඊයේ රූපවාහිනි වැඩසටහනක විදුහල්පතිවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා වේල්ස් කුමර විද්‍යාලයෙත් තවත් විද්‍යාලයක විදුහල්පතිවරයෙක් ඇතුළු දෙදෙනෙක් උදවු කාමරය කියලා කාමර පාසල ඇතුළේ හදනවා. කෑම වැඩිපුර තියෙන අම්මෙක්ගේ දරුවෙක් එනවා නම් අමතර කෑම එකක් ගේන්න කියලා.

“මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. බත් බැංකු හදනවා. ඉතිං විද්‍යාත්මක පදනම තමයි ලක්ෂ 11ක දරුවන් නිරාහාරව ඉන්නවා. ඒ දරුවන්ට අවුරුදු දෙකකින් කෑම දීලා නැහැ. ඒ සඳහා රුපියල් 60ක්  මුදල වැඩි කළා. නමුත් රුපියල් 60 කරන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ කාරණාවට ප්‍රමුඛත්වය දෙන්න ඕන කියන එකට මම හිතනනේ විවාදයක් තියාගන්න නරකයි. ඒක අපි පිළිගන්න ඕන. ඒක තමයි විද්‍යාත්මක පදනම”

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රකාශය ගැබ්වෙලා තියෙන කරුණු ගැන අපේ තර්කයක්, වාදයක් නැහැ. මම කියන්නේ මේ එකින් එක සිදුවීම් අරගෙන ඒ සිදුවීම් තමයි සම්පූර්ණයෙන්ම සමස්තයක් හැටියට ගන්නවා කියන එකේ තියෙන සාවද්‍යභාවය. එතකොට යම්කිසි විධියක සාධාරණ සැකයක් මතුවෙනවා.

එවැනි සාවද්‍ය ප්‍රකාශයක් ඒ විධියට ප්‍රමුඛත්වය ලබාදීලා සාකච්ඡාවට ලක්වෙනවා නම් එහි යම්කිසි සැඟවුණු පසුබිමේ ඇති කරුණු ගණනාවක් තියෙන්න පුළුවන්. මම එක මොහොතකවත් කියන්නේ නැහැ මේ ප්‍රශ්නය නැහැ කියලා. මේ ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන.”

හැබැයි මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම් සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒකයි මම ඉදිරිපත් කළේ.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

‘අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුනක දරුවෝ ඊයේ දවසේ 20කට වැඩිය කෑම නැතිකම නිසා සිහිසුන්ව වැටිලා තියෙනවා. මන්ත්‍රි සරත් කුමාරසිරි (පො.පෙ.) පැවැසීය.

විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධාර්ථ මහා විද්‍යලයත් කිඹුලාව ගාමිණී මහ විද්‍යාලයත්, කිඹුලාව ආනන්ද විද්‍යාලයේ දරුවෝ සිහිසුන්ව වැටිලා තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවෙක් කුරුම්බා ලොඳ ගෙනල්ලා තියෙනවා දිවා ආහාරය සඳහා.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අධ්‍යාපන ඇමැතිතුමාගෙන් මේ පිළිබඳව සොයා බලලා පුළුවන් තරම් ඉක්මනට වැඩපිළිවෙළක් හදන්න. රුපියල් 60ට දෙන දිවා ආහාරය දෙන්න බැහැ.  ඒ නිසා මේ දිවා ආහාරය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න.

කෙහෙළිය රඹුක්වැල්ල

මම අනෙක් කොටස දන්නේ නැහැ. හැබැයි මිනුවන්ගොඩ එක මේ මොහොත වනවිට ඒ විදුහල්පතිතුමියත්  එක්ක කතා කළා. මොකද මේක ඔය කියන විදිහට පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තියක්. ඒ පාසලේ ඉන්නේ ගුරුවරු 15යි. ඒ කියන්නේ බොහොම පොඩි ඉස්කෝලයක්.  එවැනි සිදුවීමක් වෙලා තියෙනවා නම් ගුරුවරු සහ දරුවන් කවුරුහරි ඒ ගැන දැනගන්න ඕන. එතකොට ඒ පළාතේ වාර්තාකරුවා එයාගෙන් අහනවා එයා කියනවා ඒක මගේ වැඩක් ඒක අහන්න ඕන නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා.

දැන් එදාම පාසල් සංවර්ධන සභාව කැඳවලා පෝෂණ වැඩපිළිවෙළ සාකච්ඡා කරලා ඒ සංවිධානය විසින්ම අහලා තියෙනවා. එහෙම දරුවෙක් කවුරුහරි ඉන්නවාද? කාටද සිද්ධවෙලා තියෙන්නේ කියලා. කිසිම දරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. මේ විදුහල්පතිතුමියගේ වාර්තාව තියෙනවා.

මට මෙතැන දාලා පෙන්වන්න පුළුවන්. මිනිත්තු 04ක කට් එකක් මගේ ළඟ තියෙනවා. ඒකෙදි කියනවා අනේ මේ සම්බන්ධව දැකපු ගමන් අපි සියලුම සංවර්ධන සභාව ගෙනාවා පාසලේ ඉන්න ගුරුවරු 15 දෙනා, දරුවෝ එක එක්කෙනාගෙන් ඇහුවා  එහෙම දෙයක් අහම්බෙන්වත් සිදුවුණාද කියලා. කිසිම දරුවෙක්ගේ එහෙම දෙයක් සිදුවෙලා නෑ.

සරත් කුමාරසිරි

මම මේ කියන්නේ මගේ ආසනයේ විදුහල්පතිතුමාලා තුන්දෙනාටම කතා කළා. මේ සිදුවීම මගේ ආසනයේ සිදුවෙලා තියෙනවා. මම කිව්වේ පත්තරේ තිබුණ මිනුවන්ගොඩ එක. හැබැයි මගේ ආසනයේ සිද්ධිය සැබෑ සිද්ධියක්.

ඒ නිසා මම ඉල්ලන්නේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, විලච්චිය කියන්නේ මහ දුෂ්කර පළාතක්. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳ සොයා බලා මේ පිළිබඳ වැඩපිළිවෙළක් ගේන්න.

කෙහෙළිය රඹුක්වැල්ල

මම බොහොම පැහැදිලිව කියන්න ඕන. විලච්චිය සම්බන්ධව බැහැර කරන්නේ නැහැ.

සරත් කුමාරසිරි

මම කියන්නේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේ, කිඹුලාව ආනන්ද විද්‍යාලය සහ ගාමිණී විද්‍යාලය පිළිබඳව. මම කියන්නේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුන ගැන හොයලා බලන්න. මේක ගැන මම අද උදේ කතා කළා. මේක විහිළුවකට ගන්න එපා. මේ සත්‍ය කතා කරන්නේ අපි.

අනුර ප්‍රියදර්ශන යාපා

ඇමැතිවරුන්ට උද්ධච්ච විදිහට කතා කරන්න එපා කියන්න. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න පිළිඅරගෙන විසඳුමක් දෙන්න. ආණ්ඩු පත්කරලා තියෙන්නේ ඒකට තමයි.

ජාතික වගකීමකුත් ඉටුකරන්න ජාතික රූපවාහිනියට සිදුවෙනවා  ; – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

ජාතික රූපවාහිනිය ජාතික මෙහෙවරක් ඉටුකරන ගමන යම් වගකීම් සහගතව ජාතික වගකීමකුත් ඉටුකිරීමට ඔවුන්ට සිදුවන බවත්  රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පැවැසීය.

“ශ්‍රී  ලංකා රූපවාහිනි සංස්ථාවේ සංස්ථා මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම සඳහා තමයි මෙම සංශෝධනය ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරි මහත්මයත්, ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා හෝ ඒ නියෝජිත මහත්මයත්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගි වන නිලධාරි මහත්මාත්, ශ්‍රී  ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමත්, චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමත්, විෂය භාර ඇමැතිවරයා විසින් පත්කරන අධ්‍යක්ෂවරු හතර දෙනා ඇතුළුව අධ්‍යක්ෂවරුන් 09 දෙනෙක්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා ඒ සංස්ථාවේ තීන්දු තීරණ ගැනීම මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ සංශෝධනය ඉදිරිපත් වෙලා තියෙන්නේ.

ශ්‍රී  ලංකා රූපවාහිනි සංස්ථාව දැයේ නාළිකාව ලෙස විශාල මෙහෙවරක් මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරනවා. විශේෂයෙන්ම රූපවාහිනි සංස්ථාව දැනට පාඩු ලබන ආයතනයක් හැටියට තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. මේ පාඩුවට හේතු ගණනාවක් තියෙනවා. පසුගිය කාලයේ වුණු සිදුවීම්, ඒ වගේම ගනු ලැබූ තීරණ, කළමනාකාරීත්වයේ ඇති වී තිබෙන දුර්වලතාව, අනෙකුත් පෞද්ගලික අංශයේ රූපවාහිනි නාළිකා විශාල ප්‍රමාණයක් අතර ඇතිවුණු තරගකාරීත්වය ඇතුළු කාරණා කිහිපයක් පදනම් කරගෙන රූපවාහිනි සංස්ථාව මේ වනවිට පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා.

1982 ජපාන රජයෙන් ආධාරයක් හැටියට ලැබුණු මේ රූපවාහිනි සංස්ථාව රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරලා තියෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින්  ජාතික රූපවාහිනියට වගකීමක් පැවරිලා තියෙනවා යම් ජාතික මෙහෙවරක් ඉටු කරන්න. ඒ නිසා ජාතික රූපවාහිනිය ජාතික මෙහෙවරක් ඉටුකරන ගමන් යම් වගකීම් සහගතව ජාතික වගකීමකුත් ඔවුන්ට ඉටු කරන්න වෙනවා.

ඒ නිසා ගුණාත්මක භාවයත් ආරක්ෂා කරගෙන ජාතික වගකීමත් ආරක්ෂා කරගෙන ඉදිරි කාලය තුළදී ජාතික රූපවාහිනිය අනෙකුත් ආයතනත් එක්ක තරගකාරීත්වයටත් මුහුණ දෙමින් නිර්මාණශීලී වැඩපිළිවෙළක් ඔස්සේ අපේ රටේ නැවතත් ප්‍රමුඛ පෙළේ රූපවාහිනි නාළිකාවක් බවට පත් කිරීම සඳහා ඇමැතිතුමත්, මමත් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, රූපවාහිනි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් ඒ කාර්ය මණ්ඩලයත් එකට අත්වැල් බැඳගෙන සාමූහික මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.”

හරිහැටි ක්‍රියාත්මක නොකළොත් ජාතික සභාවත් දේශපාලන නාඩගමකින් අවසන් වේවි : – සරත් ෆොන්සේකා

“මිනිසුන්ට කන්නවත් සල්ලි නැතිව

අයි.එම්.එෆ්. තම්බලා කන්නදැයි” සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමසීය.

 “ජාතික සභාව ගැන කට්ටිය කතා කරනවා.  ජාතික සභාව හරිහැටි තෝරලා බේරලා ක්‍රියාත්මක නොකළොත් ඒකත් දේශපාලන නාඩගමකින් අවසන් වෙන්නේ.”

“ඒ වගේම ශ්‍රීලන්කන් ගුවන් සේවය ගැන කතා කරනවා. මේකෙන් රජයට සෑහෙන්න පාඩු වුණා. මෙතුළ සිදුවූ බොහෝ දේවල් ලෝකයේ ශීලාචාර සදාචාර දේවල් සිදුවන ආකාරයට සිදුවී නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිගේ ආර්යාවගේ සහෝදරයා ඉන්න කාලේ ඒ සභාපතිගේ වැටුප ලක්ෂ 50යි. සමාගමෙන් රටට වූ පාඩුව කෝටි ගාණක්. යහපාලන ආණ්ඩුව ආවා. එතැනින් පත් වුණු සභාපතිට වැටුප ලක්ෂ සීයක්.

අධ්‍යක්ෂ කෙනෙක් හිටියා. ඔහු හමුදාවේ අවුරුදු විස්සක් විතර ඉඳලා විශ්‍රාම ගිය කෙනෙක්. එයාට වෙන සුදුසුකම් තිබුණේ නැහැ. විශ්‍රාම වැටුප රුපියල් පහළොස් දාහයි. එයා අධ්‍යක්ෂ කෙනෙක් වෙලා යහපාලන ආණ්ඩුවේ වැඩ කළා. අපි මේගොල්ලෝ ගෙනල්ලා ප්‍රශ්න කර ආදායම් වැටුප් දීමනා කොහොමද කියලා අහද්දි එතුමා වීරයෙක් වගේ එදා කිව්වා මම මේකෙ වැටුප් ගන්නේ නැහැ කියලා. පස්සේ මං ඇහුවා ඔබ වැටුප් නොගෙන වැඩ කරන්නේ කොහොමද කියලා. නෑ මං දීමනාව විතරක් ගන්නවා කිව්වා. දීමනාව ලක්ෂ 30ක්. ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ ආයතනයක් තුළ අපි විවිධ අක්‍රමිකතා දැක්කා.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකට වැසිකිළියක් හයිකරන්න විශාල මුදලක් වැය කළා. 2010 – 2015  එවකට ජනාධිපතිට වැසිකිළියක් හදන්න කෝටි හයක් යට කරලා. කොමඩ්වල පෙරපු රත්රන්, දියමන්ති අල්ලලා තිබ්බාද දන්නෑ. අපි ඒවා අහෝසි කළා. ඒ වගේම අපි දැක්කා එයාර් බස් ගන්න ගිවිසුම්වලින් කපිල චන්ද්‍රසේන කියන හිටපු විධායක නිලධාරියා ඩොලර් මිලියන 20ක පගාවක් ගැහුවා. නාමල් රාජපක්ෂගේ ගිණුමටත් ඒ සල්ලි ගියා කියල ඔප්පු වුණා. මේ ගුවන් සේවය අනිවාර්යෙන්ම රටට අහේනියක් වුණා. මේවා හරහා දේශපාලනඥයෝ, නිලධාරීන් ජනතාවගේ මුදල් කොල්ලකෑවා.”

විශේෂයෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන කතා කළොත් එය ඉතාම කනගාටුදායකයි.  ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රි කෙනෙක් මට කලින් කතා කළා. එහෙම අයට රටේ ජනතාවගේ දුක බඩගින්න තේරෙන්නේ නෑ ආර්ථික විශේෂඥයෝ වුණාට. බඩු මිල ඉතා ඉහළයි. මිනිසුන්ට කන්න බොන්න බැහැ දැන්.

සංඛ්‍යාලේඛනවලින් මේ රටේ 79%ක් පෝෂණ සම්පන්න ආහාර ගැනීමෙන් වළකින බව කියනවා. ඒ වගේම වාහන ගන්න නෑ. උදාහරණයක් විදිහට කාර් එකක ටයර් එකක් ගියොත් මාස හතරක පඩිය ඕනෑ ටයර් එකක් දාගන්න.  25,000ට තිබූ ටයර් එක අද ලක්ෂෙකට ගිහින්. ප්‍රවාහන පද්ධතිය අනිවාර්යෙන්ම කඩාවැටිලා තිබෙනවා.

ස්ථාවර නියෝග පිළිබඳ ජනතා විශ්වාසය ඇතිකිරීම වැදගත් : – සාගර කාරියවසම්

“අද මාධ්‍යවල ඇතැම් ප්‍රචාරවලින්  ජනතාවට  හැඟෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි කඹ ඇද ඇද පිස්සු නටනවා කියලා” යැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම්  පැවැසීය.

“අද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව විවාදය කරනවා. මෙම ස්ථාවර නියෝග පිළිපැද මේ රටේ ජනතාවගේ විශ්වාසය ඇති කිරීම ඉතාම වැදගත් කාරණයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඉතාම කනගාටුදායකයි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් මෙම ගරු සභාවට පැමිණෙන බොහෝ මන්ත්‍රිවරුන් ස්ථාවර නියෝගවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කරනවා වගේම මේ ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ව්‍යාංගාර්ථයෙන් මේ පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි රටේ ජනතාව කෙරෙහි ඇති විශ්වාසය බිඳීමට කටයුතු කරනවද කියලා සැකයක් තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මට කලින් විරුද්ධ පක්ෂයේ කතා කළ මන්ත්‍රිවරු මේ ගැන කිව්වා.  අපේ තිබෙනවා පාර්ලිමේන්තු කාරක සභා දෙකක්. එකක් පොදු ව්‍යාපාර පිළිබඳ එහෙම නැත්තම් කෝප් කාරක සභාව. අනික රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව. ඒ කාරක සභා දෙක පවත්වාගෙන යෑම සඳහා වන සියලු නීතිරීති සකස් කරලා තියෙනවා ස්ථාවර නියෝග තුළින්. මේ ස්ථාවර නියෝග 120, 121 මඟින් කාරක සභා පිහිටුවා තියෙනවා. ස්ථාවර නියෝගය මඟින් සභාපතිවරු පත්කළ යුතු ආකාරය පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා.

නමුත් කියන්න කනගාටුයි, විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් අදත් මේ ගරු සභාවේ ප්‍රකාශ කර සිටියා මේ කාරක සභාවේ සභාපතිත්වය විරුද්ධ පක්ෂයට ලබා දෙන්න එකඟ වුණා ඒත් ඒක  කළේ නැහැ කියලා. මේ කාරණා කීම තුළින් මං හිතන්නේ මේ කරන්නේ හිතාමතාම මේ ගරු සභාවට තියෙන විශ්වසනීයත්වය මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වසනීයත්වය නැති කරන එකද කියලා ප්‍රශ්නයක්. මොකද මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති වුණා.

එහිදී අපි ඉතා පැහැදිලිව කියා සිටියා මේ  Cope – Copa කාරක සභා දෙකට විරුද්ධ පක්ෂයේ සභාපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් කිසිම තැනක ස්ථාවර නියෝගවල ඒ ගැන  සඳහන් වෙන්නේ නැහැ. ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රමවේද අනුව ඒවා සිදු කළ යුතුයි කියලා. නමුත් මෙතැන රැස්වීමට සම්බන්ධ වෙච්ච අවුරුදු විස්සක් තිහක් මේ පාර්ලිමේන්තුවේ හිටපු ජේ‍යෂ්ඨ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් එළියට බහිනකොට එළියේ ඉන්න මාධ්‍යවේදීන් හමුවේ කිව්වා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂයට මේ තනතුරු දෙනවාට විරුද්ධයි කියලා. ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය. මේ ස්ථාවර නියෝගවලට කිසිදු ගරු කිරීමක් නෑ.

චිකාගෝ සම්මුතියට අස්සන් කළේ නැත්නම් විදෙස් ගුවන් යානා මෙරටට ගේන්න බැහැ :- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය මඟින් මුළු ලෝකයේම රටවල්වල ගුවන් සේවාවන් පිළිබඳව යම් යම් නිර්ණායක තාක්‍ෂණික වශයෙන් ඉතාම ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරිපත් කරනවා.

මේ නිර්ණායකයන් ක්‍රියාත්මක කිරීමට චිකාගෝ සම්මුතිය ලෙස හඳුන්වන අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියට අපි අස්සන් කර තියෙනවා යැයි වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය. එහෙම අස්සන් කළේ නැත්නම් අපට වෙනත් රටවල්වල ගුවන්යානා අපේ රටට ගෙන ඒමට පුළුවන්කමක් නැහැ. මේ සංවිධානය මඟින් කරන්නේ සිවිල් ගුවන් සේවාවන්හි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් වන කාර්යයන්.

කොච්චරදුරට සුරක්‍ෂිත ලෙස ගුවන් මගීන්ගේ ගමනාගමනයන් නියාමනය කළ හැකිද කියන කාරණය පිළිබඳව. එහිදී ගුවන්යානාවල පැවැත්ම, ගුවන්යානා නියමුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පිළිබඳව තිබිය යුතු යම් යම් අධ්‍යාපන මට්ටම්,

තාක්‍ෂණික වශයෙන් ඔවුන්ගේ දැනීමේ මට්ටම් ආදිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරයක් තියෙනවා.

මේ පනතෙන් අපි කරනු ලබන්නේ මෙම සංවිධානය වරින්වර ලෝකයේ තියෙන නව ප්‍රවණතාව අනුව ලබන ලද නව අත්දැකීම් අනුව විටින් විට මේ නීතිරීති හා නියෝග මාලාවන් වෙනස් කරනවා. ඒ අනුව අපිත් වෙනස් විය යුතුයි.

ණය ගෙවන්නත් බැරිව බංකොලොත් කිය කියා කෝටි ගණන් නාස්ති කරනවා  : – අශෝක් අබේසිංහ

ආයතනවලට සේවකයන් බඳවා ගන්නෙ නෑ  කියලා හොරපාරෙන් සේවකයො බඳවා ගන්නවා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක් අබේසිංහ පැවැසීය. දැන් විදුලිබල ඇමැති පාර්ලිමේන්තුවේ කියනවා අයි.එම්.එෆ්.  ණය හම්බ වුණාම විදුලි ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. සාගල රත්නායක  ඊට හාත්පසින් වෙන දෙයක් කියනවා. එක එක පරස්පර කතා තියෙන්නේ.

ඒ අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශාල වශයෙන් පාඩු ලබනවා. කෝටි හතළිස් දාහක් පමණ පාඩුයි. 2007 වෙද්දි ලාභ ලැබූ මේක රජයට පවරා ගත්තා. කෝටි පන්දහක් පමණ පාඩු ලබන මේක ප්‍රතිව්‍යුහගත කරාට කමක් නැහැ. එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව මාසෙකට හාර ලක්ෂයක් පමණ වෙනවා. මේක රටට විශාල පාඩුවක්. සේවකයන් හාරදාස් ගණනක් ඉන්නවා. ගුවන් යානා තියෙන්නේ විසිඑකයි. තුන්සීයකට වැඩි සේවකයෝ.

ඒවගේම ආයතනවලට සේවකයන් බඳවා ගන්නෙ නෑ  කියල ආණ්ඩුව  චක්‍රලේඛ නිකුත් කරනවා. හැබැයි පුහුණුවීම් සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා කට්ටිය කැඳවනවා. ජාත්‍යන්තර catering ආයතනයට පුහුණු සේවකයන් 70ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට උෟව පළාතෙන් මේ පිරිස ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් බස් එකකින් කොළඹ  ගෙන්නලා තියෙනවා.  

ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හතරක් තියෙනවා. පැරණිම ගුවන්තොටුපොළ වන රත්මලාන, ජනවාරි මාසේ වෙද්දි කෝටි විසිදෙකක් වියදම් කරලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කළා.  මේ රට බංකොලොත් වෙලා. අප්‍රේල් ණය ගෙවන්න බෑ කියලා ප්‍රකාශකර තිබුණෙ. හැබැයි මේ අවුරුද්දේ මුල කෝටි ගණන් නාස්ති  කරලා. ජාත්‍යන්තරය කියන්නේ මේ රටේ ආර්ථික අපරාධකාරයො ඉන්නවා කියලා. හේතුව දූෂණය, වංචාව, අධික ලෙස ණය ගැනීම සහ රසායනික පොහොර නැවැත්වීම. ඉතින් මන්දපෝෂණය ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා.

ආර්ථික විශේෂඥ මහින්දානන්ද අලුත්ගමගේ රටේ ආර්ථිකය ගැන බදු ගැන සෑහෙන්න දේවල් කියනවා. ආදායම් බදු ලිපිගොනු කාටත් අරින්න පුළුවන්. තියෙන අය ගෙවනවා. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ආදායම් බදු ගෙවනවා. දැන් ඒගොල්ලන්ට ඕනෑවෙලා  තියෙනවා ජනතාවට ආණ්ඩුව එපා වෙන්න එපා වෙන්න අනුකම්පාව ගන්න. ආදායම් බදු එකතු කරන්න කියනවා. 1994 ඉඳලා අවුරුදු 28ක් පාලනය කළේ ඒගොල්ලො.

විශ්වවිද්‍යාල තුළ යළි පන්ති පටන් ගන්නැයි මුළු රටම කියනවා  : – සුරේෂ් රාඝවන්

විශ්වවිද්‍යාල තුළ නැවත පන්ති පටන් ගන්නට ඕන කියලා මුළු රටම කියනවා යැයි දෙ.ජා.ස. මන්ත්‍රි සුරේෂ් රාඝවන් පැවැසීය. පේරාදෙණිය සහ වවුනියාව විශ්වවිද්‍යාලවල නැවතත් අශිෂ්ටත්වයේ හිස මතු වී තිබෙනවා. අශිෂ්ටත්වය හැමදාමත් තිබුණා. බුදුහාමුදුරුවොත් මරන්න හැදුවා. අශිෂ්ටත්වය හැමදාම පරාජය කළේ

ශිෂ්ටත්වයේ ජයග්‍රහණය තුළින් පමණයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්ය, මහචාර්යවරුන් 17කගේ සමාජ මාධ්‍ය මම හොයලා බැලුවා. එක්කෙනෙක්වත් කියලා නෑ නවකවධය හොඳ නෑ කියලා. යැයි මේ ඇශිෂ්ටත්වයට අපි බය.

නවකවධය ගේන්නට විශ්වවිද්‍යාල තුළ හිටියේ 5%යි. අවුරුදු 40ක් ගිහිල්ලත් ඉන්නේ 5%යි. නමුත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආචාර්ය, මහාචාර්යවරුන් පවා ඒක දැඩි ලෙස විවේචනය කරන්නට අකැමැති ඇයි.? ඒකට හේතුව දේශපාලන වුවමනාවක් තියෙන එකයි.

එම නිසා විෂය භාරව මම විශ්වවිද්‍යාලයේ ඉද්දී බලයක්් තිබුණේ නෑ. ශිෂ්‍යයෙක් වෙනවා හැර. මේ රටේ බදු ගෙවන මවුපියන් ඊයේ වෙද්දී 218ක් මට කතා කරලා කිව්වා අපි අපේ දරුවන්ව විශ්වවිද්‍යාලයට යන්න ලෑස්ති කරලා තියෙන්නේ ප්‍රතිඵල ඇවිත් තියෙන්නේ. ඒ දරුවෝ විශ්වවිද්‍යාල ඉල්ලනවා.

ඔබතුමා මහජන මුදලින් පඩි ගන්න නිලධාරියෙක් හැටියට කියන්න පුළුවන්ද විශ්වවිද්‍යාල අපේ දරුවන්ව යවන්න පුළුවන් ආරක්ෂිත කලාප කියලා. ඒ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. සියලුම මවුපියන් ඇසිය යුතු ප්‍රශ්නයක්. අපි එහෙනම් මේ විශ්වවිද්‍යාල සාධාරණත්වයේ, බුද්ධියේ, ශිෂ්ටත්වයේ ආරක්ෂාවේ කලාප හැටියට කරන්නේ නැත්තේ ඇයි?  

දේශපාලන භේද වැඩක් නැහැ ස්ථාවර නියෝග ශක්තිමත් කරන්න  : – මහාචාර්ය චරිත හේරත්

“පටු දේශපාලන භේද වැඩක් නෑ. ස්ථාවර නියෝග හරියට ශක්තිමත් කරන්නැ”යි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් පැවැසීය. 

අපි කෝප් කමිටුවේ ගන්න තීරණය ක්‍රියාත්මක කරන්න ලබාදෙන්නේ කමිටුව ඉදිරියේ ඉන්න ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෙවත් අමාත්‍යාංශ ලේකම්වරයාටයි. මමත් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. මමත් ඒ අවස්ථාවේදී සමහර සභාපතිවරු අස්කර තිබෙනවා.

ඩිව් ගුණසේකර මහතා ලබාදුන් නියෝග ක්‍රියාත්මක කර තිබෙනවා. හැමදාම එහෙම කරන්න බැහැ. නියෝගයක් දුන්නත් ලේකම්වරයාට නියෝගය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා ස්ථාවර නියෝග 120 වෙනස් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය අද නැඟුණා.

යම්කිසි තීරණයක් කෝප් කමිටුව ගත් පසුව එය විගණකාධිපතිත් අනුමත කර තිබේ නම් හෝ කමිටුවේ පක්ෂ දෙකේම මන්ත්‍රිවරු සිටිනවා නම් එය නීතිපතිට කෙළින්ම යන්න ඉඩ දෙන ලෙස අප ඉල්ලා සිටියා.

ඒක මේ සංශෝධනවල නැහැ. නීතිපතිවරයාට මේ ෆයිල් එක යවන්න පාර්ලිමේන්තුවෙන් අවසර දෙන්නැයි අප ඉල්ලා සිටියා. එයත් මේකට ඇතුළත් කර නැහැ. ඉදිරියේදී මෙය ඇතුල් කළ යුතුයි. ස්ථාවර නියෝග මීට වඩා ශක්තිමත්ව හැදිය යුතුයි.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි