රට ලූනු ආව එකෙන් අපි කම්බස් වුණා

0
6

දේශීය ලොකු ලූනු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් විදේශීය ලොකු ලූනු තොග විශාල වශයෙන් අඩු මුදලට අලෙවි කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් දේශීය ලොකු ලූනු ලැබෙමින් පවතී. ගොවීන් එසේ රැගෙන එන ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 සිට රුපියල් 100 දක්වා විවිධ මිල ගණන් යටතේ සීමා සහිතව අලෙවි වන බවත් බොහෝ ලූනු තොග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් ඉදිරිපිට ගොඩගසා ගොවීහු රැඳී සිටින බව ඔවුහු පවසති.

දේශීය ලොකු ලූනු නිෂ්පාදනය සඳහා කිලෝවකට රුපියල් 250ක් පමණ වැය වී තිබෙන බව පෙන්වා දෙන ගොවීන් කියා සිටියේ ලොකු ලූනු අස්වැන්න නෙළීමට මාසයකට පමණ ඉහතදී විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා බද්දක් පනවන බවය. එහෙත් මෙවර පිට රටින් ගෙන්වන ලොකු ලූණු සදහා බද්ධක් පැනවීමකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා මෙම බරපතළ තත්ත්වය ගොවියාට අත්ව තිබෙන බව ඔවුහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු රැගෙන ආ ඇතැම් ගොවීන් දින ගණනාවක්ම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටින බවත් ඉතා අඩු මිල ගණන් යටතේ දේශීය ලොකු ලූනු වෙළෙන්දන් විසින් ඉල්ලා සිටින බවත් ඔවුහු දැඩි සිත් වේදනාවෙන් යුතුව පවසති.

අති විශාල මුදලක් වියදම් කරමින් දේශීය ලොකුලූනු වගා කළද විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවල විශාල වශයෙන් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට ලැබෙනවාත් සමඟ විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා බදු මුදල් පැනවීමක් සිදු කරනු ඇතැයි විශ්වාසය ඇතිව විදේශ රටවලින් ලොකු ලූනු ගෙන්වන වෙළෙන්දෝ අති විශාල ප්‍රමාණයක් මේ වන විට ලොකු ලූනු ගෙන්වා ගබඩා කර තිබෙන බවටද ඔවුහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව විදේශීය ලොකු ලූනු ගෙන්වන ව්‍යපාරිකයන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ඉන්දියාව සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 125ක මිලකට අලෙවි කරන බවය.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ විදේශ රටවලින් ලොකු ලූනු තොග ගෙන්වන ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේදී කියා සිටියේ විදේශ රටවලින් ලොකු ලූනු කිලෝවක් ගෙන්වීම සඳහා රුපියල් එකසිය හතළිස් පහක පමණ පිරිවැයක් වියදම් වන බවය. සියලු වියදම් ඇතිව රුපියල් 170ක් පමණ මිලකට විදේශීය ලොකු ලූනු කිලෝව අලෙවි කිරීමට තිබුණද මෙම වෙළෙඳ ව්‍යාපාරිකයෝ විදේශීය ලොකු ලූනු රුපියල් 125ක අඩු මුලකට අලෙවි කෙරෙන බව කරුණු විමසීමේදී එම ව්‍යාපාරිකයෝ පැවැසූහ.

තවදුරටත් විදේශීය ලොකු ලූනු ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් විමසීමේදී කියා සිටියේ දඹුල්ලට පමණක් මේ වන විට විදේශීය රටවලින් ලොකු ලූනු කිලෝ ලක්ෂ අසූවක් පමණ ගෙනැවිත් ගබඩා කර තිබෙන බවය.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහා ගෙනැවිත් තිබූ දේශීය ලොකු ලූනු තොග විශාල වශයෙන් ගොඩගසා අලෙවි කරගැනීමට නොහැකි වීම නිසා රජය විසින් හෝ මිලදී ගන්නැයි ගොවීහු ඉල්ලීමක් කර සිටිති.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දඹුල්ල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දේශීය ලොකු ලූනු ගොවීන් කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ දේශීය ලොකු ලූනු අස්වැන්න විශාල වශයෙන් ලැබෙන බවද තමා දුටු බවය.

රටින් ගෙන්වන ලූනු සඳහා බදු මුදලක් පනවන ලෙස තමන් සහ අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බව සඳහන් කළේය.

තමන් මේ පිළිබඳව ජනාධිතිපතිවරයාගේ අවධානය යොමු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක පසුවන බවද හෙතෙම පැවැසීය.

දඹුල්ල – කේ. කේ. ආරියදාස