මාධ්‍යවේදීන්ට පහරදීම ගැන ලෝක සංවිධානයක් අවධානයෙන්

0
11

ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා මාධ්‍ය ආයතන බියගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා රජය දක්වන ප්‍රතිචාර පිළිබඳව අඛණ්ඩව නිරීක්‍ෂණය කරන බව ලෝක විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ.

ඉකුත් ජූලි 9 වැනිදා පොලිසිය හා ආරක්‍ෂක අංශ මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරය  සාධාරනිකරණය කළ නොහැකි බව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම නිල වශයෙන් පිළිගෙන ඇති බවද ලෝක විකාශකයන්ගේ සංගමය පෙන්වාදී ඇත.

අගමැතිවරයාගේ නිවෙසට පහරදීමේ සිද්ධිය වාර්තා කිරීමට ගොස් සිටියදී පහර කෑමට ලක්වූ පෞද්ගලික රූපවාහිනි නාළිකාවක මාධ්‍යවේදීන් කීපදෙනකු හා එහි කළමනාකාරිත්වයේ සාමාජිකයන් කීපදෙනකු ප්‍රකාශ ලබාගැනීම සඳහා අත්තනෝමතික ලෙස පොලිසිය වෙත කැඳවීම් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

ඉහත සඳහන් කළ මාධ්‍ය ආයතනයේ කිසිවකුට හෝ වෙනත් කිසිදු මාධ්‍යවේදියකුට ආරක්‍ෂක අංශ කිසිදු ආකාරයක බැන වැදීමක්, තර්ජනය කිරීමක් හෝ ප්‍රහාරයක් සිදු නොවන බවට රජය වගබලා ගත යුතු බවද එම සංගමය පෙන්වාදී තිබේ.

ඉකුත් ජුනි 9 වැනිදා ඇතිවූ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අපක්‍ෂපාතී යාන්ත්‍රණයක් පත් කරන ලෙසද එම සංගමය සිය නිවේදනය මඟින් ශ්‍රී  ලංකා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

කුමුදු උපුල් ශාන්ත