මන්ත්‍රින් 2කගේ නායකත්වයෙන් කුරුඳුමලේ විහාරයට මැර ප්‍රහාරයක්

0
39

මුලතිව්, කුරුඳුමලේ විහාරස්ථානයට කඩා වැදුණු මැර පිරිසකගේ තර්ජන හේතුවෙන් එහි සිදුවන ප්‍රතිසංස්කරණ වැඩකටයුතු නවතා දැමීමට සිදුව ඇත.

පෙරේදා (21දා) මේ ස්ථානයට කඩා වැදුණු මෙම අන්තවාදී පිරිස් පුරාවිද්‍යා නිලධාරීන්ට මරණීය තර්ජන කරමින් පවසා ඇත්තේ එම භූමියෙන් වහා බැහැර වන ලෙසය. මෙසේ පැමිණි පිරිසට නායකත්වය සපයා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රි ටී. රවිහරන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ආර්. මයුරන්ය.

කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ මෙම පිරිසට එරෙහිව පුරාවිද්‍යා නිලධාරීන් නීතිය හමුවට ගොස් ඇත. ඒ අනුව පෙරකී හිටපු මන්ත්‍රිවරුන් දෙදෙනා සහ තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඔවුන්ට සහාය දක්වන සෙසු පිරිස විරෝධතා පුවරු අතැතිව අධිකරණය ඉදිරිපිටට ගොස් ඇත්තේ අත්අඩංගුවට ගත් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බලකරමිනි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මෙම මන්ත්‍රිවරුන් මීට පෙරද මුලතිව් ප්‍රදේශයේ ජනතාව උසි ගන්වමින් මෙවැනි විරෝධතා කුරුන්දි විහාරයට (කුරුඳුමලේ විහාරය) එරෙහිව ක්‍රියාත්මක කොට ඇත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ