නූපන් පරම්පරාව ගැන හිතලා පෑන හසුරවන්න

0
28

නූපන් පරම්පරාවට ජීවත් වීම සඳහා මාතෘ භූමියේ ප්‍රතිරූපයට හානිවන අයුරින් තමන්ගේ පෑන හසුරුවන්නට එපා යැයි තමා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධණ පවසයි.

රටක පුවත්පත් ඇතුළු සියලු මාධ්‍ය දුක්ගන්නාරාල කෙනකු නොවී ජනතාවට පෙරගමන්කරුවකු විය යුතු බවත් අසත්‍ය තොරතුරු නොව යමක් ප්‍රබුද්ධ ලෙස අසන ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක්  තම ආයතන තුළ නිර්මාණය කළ යුතු බවත් ඔහු පැවැසීය.

එසේම යටත් විජිත යුගයෙන් පසුව මෙරට පුවත්පත් ආරම්භවීමත් සමඟ රට තුළ නිදහස උදෙසා ජාතික මතවාදයක් ගොඩනැංවීම සඳහාත් පුවත්පත් විශාල දායකත්වයක් ලබාදී තිබෙන බව ශ්‍රී  ලංකා පුවත්පත් මණ්ඩලයේ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වැනි කණ්ඩයමේ ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අමතමින් ඇමැතිවරයා සඳහන් කළේය.

රටේ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා වන පරිදි උසස් වටිනාකම් සහිත සමාජයක් බිහි කිරීමට එකල පුවත්පත් කතුවරුන් ඉතා විශිෂ්ට සමාජ දැක්මක් සහිතව මාධ්‍ය මෙහෙයවූ බව තමා විශ්වාස කරන බවත් ඔහු පැවැසුවේය.

එහෙත් පසුගිය දශක කිහිපය තුළ සංස්කෘතික, සාදචාරත්මක වශයෙන් හා මනුස්සකමේ විශාල නායයෑමක් සිදු වූ බව අකැමැත්තෙන් වුවත් අපි පිළිගත යුතු බවත් ජාතික න්‍යාය පත්‍රයකින් තොරව පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව සිදුවූ වෛරී මාධ්‍ය හැසීරවීම නිසා අපේ රටේ ජාතික ප්‍රතිරූපයටත් හානි සිදු වූ බවත් හෙතෙම කීය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී  ලංකා පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ඩිප්ලෝමා සහතිකලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මිතුන් ජයවර්ධන