ඩුබායි සිට ඩොලර් කෝටි 2ක් එවූ සිද්ධියේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග

0
14

ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක සේවකයකු ලෙස සිටිමින් ඇමරිකානු ඩොලර් කෝටි දෙකකට අධික මුදලක් වංචනික ලෙස පරිහරණය කරමින් මෙරට බැංකු ගිණුම් වෙත බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් හා ඔහුගේ බිරිය වන.  සිව ශක්ති පරමලිංගම් යන අයගේ බැංකු ගිණුම්වලට අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (22දා) අදාළ බැංකු වෙත නියෝග නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ T Choithran and sons LLC ආයතනයේ හිමිකරු වන ලක්රාජ් තකූර්දාස් පගරානි මෙයිරා යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ T Choithran and sons LLC ආයතනයේ සේවකයකු ලෙස සිටීමෙන් වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් යන අය ඇමරිකානු ඩොලර් 22,253,000ක මුදලක් සාපරාධී විශ්වාසය කඩ කරමින් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේද අනුමැතියකින් තොරව මෙරට බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එසේම වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් යන අය එම ඩුබායි ආයතනයේ කනිෂ්ඨ ගිණුම් ලිපිකරු ලෙස සේවය කළ අතර ඔහු ගිණුම් අධීක්ෂණ කටයුතු කර ඇති බවත් ඔහුට එරට මුදලින් ඩිනාර් 15,000ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව මෙම පුද්ගලයා කෝටි දෙකකට අධික ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් මෙරට බැංකු වෙත බැර කර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එම පුද්ගලයාගේ හා ඔහුගේ බිරිය වන සිව ශක්ති පරමලිංගම් යන අයගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට අදාළ බැංකු වෙත නියෝග ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 393 සමඟ කියවිය යුතු 394 හා 395 වගන්ති මෙන්ම 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තිය යටතේ විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර සිටියේය.

හංසි නානායක්කාර