ජල්ලි පිල්ලි කල්ලි

0
54

“ළඟ ළඟම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ලැබේවිය යන්න මේ යන විදිහට විශ්වාස කරන්න පුළුවන් දෙයක් නොවේ” යන්න බොහෝ දෙනාගේ අදහසය. මහ මැතිවරණයකුත් නැති නම්, ජනාධිපතිවරණයකුත් නැති නම් අඩු තරමේ පළාත් සභා මැතිවරණයක් හෝ ලබන වසරේ මුල හෝ දේවි ය යන්න පොහොට්ටුවේ ඇච්චෝ බැච්චෝ කීවද ඒකත් ලැබේදැයි විශ්වාසයක් නැති තරමේය.

“ජනතාව මේ වෙලාවේ මොන තරම් හිරිහැරයට පත්වෙලා ඉන්නවාද. ඔවුන්ට පිළිසරණක් නැතිවීම පාලකයන්ට දැනෙන්නේ නැද්ද කියලා දනවන්න තියෙන හොඳම දේ තමයි එන ඕනෑම ඡන්දයකට මුහුණ දීලා ආණ්ඩුවේ පාර්ශ්වය පරාජයට පත් කිරීම” යන්න කාගේත් කතා බහට ලක්ව තිබෙන්නකි. ඒ තරමටම ජනතාව කලකිරිලාය.

“හිතනවාද මිනිස්සු හැමදාමත් මේ පීඩනය දරා ගෙන ඉඳීවි කියලා. නෑ… බලන්නකෝ හිතා ගන්න බැරි විදිහට, හිතා ගන්න බැරි පැතිවලින් මිනිස්සු නැඟිටිනවා. පාලකයන්ට එරෙහිව හඬ නඟනවා”

මේ ජනතාව අතර හැම තැනම කතා බහ වෙන දේය.

“එහෙම තියෙද්දී ඡන්දයක් මොකටද? ඡන්දෙකින් මිනිස්සුන්ගේ බඩ පිරෙනවාද? රටේ ආර්ථිකය නරක තැනක තියෙද්දී ඔය වගේ ඡන්ද තියන්න පුළුවන්ද?”

පොහොට්ටුවේ හයිකාරකම් පාන බහුතරයක් මැති ඇමැතිවරු ආයෙත් පණ ඇවිත් වගේ, ප්‍රශ්න කරමින් යන්නේ, හිතා ගන්න බැරි විදිහටය. ආයෙත් කලඑළි බහින අතරේ චණ්ඩි කතා දෙක තුනකුත් කියන්නේ ඒ නිසා වන්නට පුළුවන්ය.

“පොහොට්ටුවත් දැන් හතරට පහට කැඩිලානේ. ආයේ මොන පොහොට්ටුද? දැන් ඒකත් දිය වෙනවනේ” මේ කෝකටත් නැති මිනිස්සු කියන්නේ එහෙමය.

“හතරට පහට නොවෙයි, දහයට පහළොවට කැඩිලා ගියත් පොහොට්ටුවේ බත් බැළයන් වෙන්ව සටන් කරන බව පෙන්නුවාට, අන්තිමට එකට බදා ගන්නා නරුමයෝමයි. ආයේ දෙකක් නෑ. බලන්නකෝ නටන නාඩගම්වල අවසානය මොකක්ද කියලා.”

එහෙම කියන රැඩිකල් මිනිස්සු නැතුවාම නොවේ. මේ කුමන කතා තිබුණත් ජනතාවගේ හදගැස්ම හඳුනා ගන්නට ඔවුන් අතරටම යා යුතුය. ඔවුන්ගේ සිතිවිලි හඳුනා ගත යුතුමය. මහ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි බොහෝ දෙනා අපට කියූ කතා කිහිපයක සාරාංශය මෙසේය.

“පැරසිටමෝල් පෙත්තක් දී ගන්න බැරි තරමට ඉස්පිරිතාල වැටිලා. ෆාමසියෙන් ගන්න කියලා කිව්වත් ෆාමසිවලත් බෙහෙත් නෑ. බෙහෙත් එහෙම ගන්න අපට සල්ලිත් නෑ. අපි දිනපතා ගන්න ඕන බෙහෙත් දැන් ගන්නේ නැතිව ඉන්නේ ඒක තවදුරටත් කරගන්න බැරි තැනයි. හාට් ඇටෑක්, දියවැඩියාව, ප්‍රෙෂර්වලට බෙහෙත් නොගෙන ඉන්න ගියාම අපි ඉක්මනින් මැරිලා යාවි. එතකොටවත් මේ ආණ්ඩුවට සැනසීමක් ලැබෙයිනේ”

රට පුරා සිටින වෛද්‍ය නිලධාරීන් අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා තිබෙන පරිදි බොහොමයක් රෝහල්වල අත්‍යවශ්‍ය ජීවිතාරක්‍ෂක ඔෟෂධ වර්ග හිඟය. එහෙමත් නැත්නම් ඇත්තේම නැත. ඔෟෂධ උපකරණත් හිඟය. ඔෟෂධ අඛණ්ඩව රෝහල් වාට්ටුවලට ලැබෙන්නේද නැත. සිහි නැති කිරීම සඳහා භාවිත කරන ඔෟෂධ, හිසට සිදුවන හානියකදී ප්‍රතිකාර කිරීමට ගන්නා ඔෟෂධ වර්ග මෙන්ම රුධිර කාන්දු පෙරණයේදී භාවිත කරන ඔෟෂධ කරාපිටිය රෝහල ඇතුළු රෝහල් කිහිපයකම හිඟය. එමෙන්ම පිළිකා රෝගීන්ට ලබාදෙන ඔෟෂධ සහ ලේ වර්ධනය කිරීමට ලබාදෙන ඔෟෂධත් හිඟය.

එම තත්ත්වයේ ඛේදනීයම තැන නම්  වමනය සඳහා ලබාදෙන ඔෟෂධ මෙන්ම උදරයේ දැවිල්ලට ලබාදෙන ඔෟෂධවල පවා හිඟයක් පැවැතීමය.

එසේම මුත්‍රා බට දමා ඇති රෝගීන්ට ආහාර ලබා දීම සඳහා නාසයෙන් ඇතුළු කරන බට ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා ශල්‍යාගාරවල හා දැඩි සත්කාර ඒකකවල භාවිත කරන උපකරණ සොයාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබීමද කනගාටුදායකය.

මෙවැනි තත්ත්වයකට පත් ජනතාවක් වහ වහා රැක ගැනීම සඳහා අතවශ්‍ය හදිසි සෞඛ්‍ය ආධාර ලබාගත යුතුය. ඒ සඳහා ලොව පුරා තිබෙන ස්වාධීන ආයතන හා පුණ්‍යායතනවලට කතා කළ යුතුය. මෙවැනි තත්ත්වයන්වලදී ඇතැම් දුප්පත්ම රටවල් පවා සහනයක් ලබා ගත්තේ ඒවා ක්‍රියාත්මක කරවන නිලධාරීන් හා දක්‍ෂ ඇමැතිවරු හරහාය.

ඒ අනුව තත්ත්වයේ ගැඹුර දකින මිනිසුන් මෙහිදී දක්වන අදහස් ඉතා වැදගත්ය.

“මුන්ට තේරෙන්නේ නෑ. මුන් සංවේදී නෑ. පාලනයක් ගෙනියනවා කියන්නේ කටකයිවාරු ගහමින් මිනිසුන් රවටන කතා කියන එක නොවෙයි. ඒවාට උත්තර හොයන එකයි. ඇහුවොත් මහ එකෙක්ගෙන් කියන්නේ… අපි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තත්ත්වය කළමනාකරණය කරගෙන යනවා. ඒක ඉක්මනින් විසඳගන්න බලනවා කියලයි. මේ වගේ එවුන් රටකට ඕනෙද?”

මිනිසුන් ජීවත් වන්නේ කොහොමද යන්න විමසන තත්ත්වයේදී මේ රටේ බහුතරයක් ගැන වාර්තා දෙන්නේ, ඒවා විශ්ලේෂණය කරන්නේ පිටරැටියන්ය. විදෙස් සංවිධානය. ආයතනයන්ය. ඒ තරමටම පාලකයන් සැබෑ ලෝකයෙන් චුත වී ඇතැයි හිතෙන තරම්ය. ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවක සාරාංශ ගත කතාව මෙසේය.

“ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ පවුල් 10කින් 8ක්ම නියමිත ආහාර වේල් මඟ හරිනවා. ඒ වගේම ආහාර ණයට ගන්නටත් යොමු වන තරමට අසරණ වෙලා. මෙහිදී කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නගරබද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ අනුව ලංකාවේ ජනගහනයෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්‍ෂිතභාවයකින් පෙළෙනවා. අවම වශයෙන් 66,000ක් දරුණු ආහාර අනාරක්‍ෂිතභාවෙන් පෙළෙනවා.”

පිටරැටියන් අපේ මිනිසුන්ගේ ජීවිතවල තත්ත්වය එසේ විනිවිද දකිද්දී අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා, ජනතාවක් ජීවත් කරවීමට දැනෙන උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. මේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් තමන් අත්විඳින තත්ත්වය පිළිබඳ අපට කියූ කතාවල සාරාංශය ය.

“ගැබිනි මවුවරුන් සඳහා රජයෙන් ලබාදෙන අතිරේක පෝෂණ දීමනාව මාස ගණනාවකින් ලැබිලා නෑ. ඒ නිසා ගැබිනි හා ළදරු පෝෂණයට මෙන්ම සෞඛ්‍යයටද අහිතකර තත්ත්වයක් උදා වෙලා. අඩු බර දරුවන් සඳහා නිකුත් කරන ත්‍රිපෝෂ මාස හතකින් විතර සායනවලට ලැබිලා නෑ”

තත්ත්වය එසේ පෙළගැසෙමින් තිබියදී පොහොට්ටුවේම අවතාර කිහිපයක් විවිධ වෙස් ගෙනය. ඇතැම් කල්ලි ස්වාධීන යැයි කියා ගනිමින් තමන්ගේ කල්ලිය, පොහොට්ටුවේදී එතෙක් ගාල්වෙමින් ගත කළ අතීතය අමතක කර දමා වෙනත් අලුත් කතාවක් කියමින් බලය ඉල්ලන හටනකය.

එහෙම බලය ඉල්ලන දිසාවකට ගාල්වෙමින් සිටින බව පෙන්වමින් මේ අය කුමන රංගනයක යෙදෙනවාදැයි සොයා ගන්නට බැරිය. මේ කල්ලි කණ්ඩායම් දැන් හඬා වැටෙන්නේ…

“අපි පොහොට්ටුවේ සිටියාට ඒකෙ වෙච්ච වැරැදි ගැන කලකිරුණට ඒවා වෙනස් කරන්න බැරි වුණා. තත්ත්වය උහුලගන්න බැරි නිසයි අපි ස්වාධීන වුණේ” වගේ තොත්ත බබා කතාවක් කියමින්ය.

පොහොට්ටුවේය කියා ගන්නා ක්‍රියාධරයන් කියන්නේ,

“ඔහොම වෙන් වුණාට ඒ අය තවම අපේම තමයි. හිත් වේදනා ඕන තරම්. ඒවා වෙනස් වේවි” කියලාය.

ශ්‍රී ලනිපයේ තත්ත්වයද වෙනස් තැනකට තල්ලු වෙමින් පවතින්නේය. මෛත්‍රිගේ ශ්‍රී ලනිපය තුළ ගාල් වූ නිමල් සිරිපාල, අමරවීරලා “හිතුමතේ ජීවිතේ”ට රඟපාමින් හිතුවක්කාර ලෙස පක්‍ෂයේ මතයට පිටින් ගිහින්ය. රනිල්ගේ ඇමැති මණ්ඩලයේය. මහින්දගේ දෑත් ශක්තිමත් කරමින් සිටි ඔවුහු ගෝඨාභයගේද දෑත් ශක්තිමත් කළ අතර දැන් රනිල්ගේද දෑත් ශක්තිමත් කරමින් යන්නේ ශ්‍රී ලනිප කූඩාරම තුළ තවමත් රැඳෙන බව කියමින්ය. මෛත්‍රිට මේ දිනවල තියෙන්නේ රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියනවාට වඩා තමන්ගේ පක්‍ෂයේ ප්‍රශ්න විස¼දා ගන්නටය. ඔහු ඇතුළු අතළොස්සක් ශ්‍රී ලනිප නායකයෝ කුඩාරම බේරා ගන්නට මාරාන්තික සටනකය.

ශ්‍රී ලනිප ප්‍රතිපත්ති කොහේවත් නැතැයි කියමින් “ඒවා රකින්නේ අපි තමයි” කියමින් කුමාර වෙල්ගමද චන්ද්‍රිකාගේ සහායෙන් තවත් අඩව්වකය. ශුද්ධ වූ ශ්‍රී ලනිපයක් ගොඩනඟනවා යැයි කියන දේශපාලන ව්‍යාපාරයකය.

විමල්ට තිබෙන්නේද අලුත් දේශපාලන ගමනකට නායකත්වය ලබා ගන්නා සිහිනයක් විය යුතුය. ජවිපෙන් පටන් ගෙන මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය විමල් දැන් අලුත් සභාවක් හදමින්, වාසුවත් කරපින්නාගෙන වෙනම ගමනකය. වමේ ව්‍යාපාරයේ පතාක යෝධයෙක් වූ ඩිව්ලාත් ඒ ගමනේය. නාමික වාමාංශික පක්‍ෂ වුව ඩිව්ලා හා වාසුලාට මේ සමාජයේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් මීට වඩා ප්‍රශස්ත ගමනක් වෙනුවෙන් යා හැකි ආකාරයක් තිබියදී මේ කියන සභාව හෝ එකමුතුව මතින් ජනතාවගේ ගැටලුවලට කොතෙක් විසඳුම් ලැබේද යන්න කියන්නට බැරිය. මේ අයද කලක් පොහොට්ටුවේ පෙති කිහිපයක්ව එකට සිට ගැලවී හැලී ගිය සාමාජිකයන්මය. ජනතාවට ඒ බවද තවම අමතක නැත.

පාඨලීද මහින්දගේ දෑත් ශක්තිමත් කරමින් ගොස් සජබයෙන් ඡන්දය ඉල්ලන්නට පාර කපාගෙන එම ඡන්ද මතින් පැමිණ වෙනම ගමනක් යන්නට දත කමින් සිටින අයෙකි. ඔහු “කුසලතාවට තැන දෙන්න”යැයි කියමින් තවමත් උත්සාහ කරන්නේ තමන්ටද පිරිසක් හදාගෙන උගතුන්, වෘත්තිකයන්, තරුණයන් එක් කරගෙන ගේමක් ගහන්නටය. නායකයෙක්ව මතු වන්නටය.

ගඟ දිගේ ගසාගෙන යන සුන්බුන් පරඩැල් මෙන් මෙලෙස හතු පිපෙන්නාක් මෙන් හැදෙන සන්ධාන හා සංවිධාන හෝ පුද්ගල කණ්ඩායම්වලට ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් මුහුණදී ඒවා විස¼දාලන ඉලක්කයක් හෝ ක්‍රියා පිළිවෙතක් නැතිවාසේය. ඒ හැමගේ බලාපොරොත්තුවත්, ඉලක්කයත් තමන්ට රිසි පරිදි තම බලය ස්ථාවර කර ගන්නා තත්ත්වයකි. එසේ ස්ථාවර කරගත් එවන් චූල වංශිකයන්ට කෙසේ බහුතර බලයක් ලැබේද යන්න විශ්වාස නැත. මේවා මුක්කු, කූඩාරම් හා තාවකාලික නවාතැන්පොළවල් විය හැකිය.

ඒ තුළින් තීරණාත්මක ඡන්දයකදී “කේවල් කිරීමේ හැකියාව”  උපදවා ගෙන බලයට පත්වන බලගතුම පක්‍ෂයට හේත්තුවීම අවසන් උත්සාහයද විය හැකිය. සමහර බලාපොරොත්තු සිහින විය හැකිය. ඒ නිසා පිරිසක් හදාගත් පමණින් රටේ බහුතර බලය මොවුන්ට ලැබේද යන්න කිව නොහැකිය. ඒ සඳහා පොදුවේ ජනහිතකාමීව, මහ පොළොවේ පැළ කළ හැකි ජනතාවාදී දේශපාලනයක් කළ යුතුය. එසේ නැතිව කල්ලි, පිල්ලි හෝ ජල්ලිවලින් පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත. ජනතාව සිටින්නේ යමක් කළ හැකි අනාගත දැක්මක් ඇති බලගතු මිනිසුන් පෙරටු කරගත් ප්‍රධාන දේශපාලන දහරාවක් වටා එක්රොක් වී ජන බලය හරහා ස්ථාපිත කළ හැකි ආණ්ඩුවක් පිහිටුවීමටය.

සජිත් රෝහිත ලියනගේ