ගවුම් අස්සේ මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙක් පානදුරේදී මාට්ටු

0
7

පොලිස් නිල සුනඛ බේලා යොදාගෙන කළ පරීක්‍ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය, මත්කරල් සහ කේරළ ගංජා තොගයක් සමඟ කතුන් දෙදෙනකු පෙරේදා (21දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි 47 සහ 53 වියැති කතුන් දෙදෙනකු බව පොලිසිය කීය.

පොලිස් කණ්ඩායම කළ පරීක්‍ෂාවේදී නිල සුනඛයා එක් සැකකාරියකට ඉව අල්ලා ඇති අතර පසුව සැකකාරිය පරීක්‍ෂා කිරීමේදී ඇඳ සිටි ගවුම්වල සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5250ක්, මත්කරල් 184ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 15ක් සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකාරියන් නඩු භාණ්ඩ සමඟින් පින්වත්ත පොලිසියට භාරදී ඇති අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක ජයවීර, කොස්තාපල්වරුන් වන අමිල, මනෝජ්, මදුසංඛ, පෙරේරා, කාන්තා රිහාරි සහ පො.කො. රියැදුරු අබේරත්න වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක