ගවයකු කකුල් හතර බැඳ උඩුයටිකුරු වන සේ තබා ත්‍රිරෝද රියකින් හිංසාකාරීව අරන් යද්දී අල්ලයි

0
6

යාපනය වඩුක්කෝඩෙයි පොලිස් වසමේ අරාලි ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගවයකු උඩුයටිකුරු වන සේ බැඳ හිංසාකාරීව ප්‍රවාහනය කරමින් සිටි අයකු (21දා) සවස අත්අඩංගුවට ගත් බවට පොලිසිය පවසයි.

අරාලි – නාවත්තුරෙයි මාර්ගයේ අදාළ ත්‍රිරෝද රථය ධාවනය වන බවට වඩුක්කෝඩෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ක්‍රියාත්මක වී අදාළ ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී කිසිදු බලපත්‍රයක් නොමැතිව ගවයකු ඉතා හිංසාකාරීව පාද බැඳ ප්‍රවාහනය කිරීම හේතුවෙන් එහි රියැදුරු සහ ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු පියවර ගත්හ.

අදාළ ගවයා ඝාතනය කිරීම සඳහා රැගෙන ගිය බවට පොලිසිය සැක පළ කරන අතර සැකකරු නාවත්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සත්ත්ව හිංසනය යටතේ නඩු පවරා ඊයේ (22දා) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව වඩුක්කෝඩෙයි පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

මුලතිව් – ශෂි කුමාර්