කවුරු මොනවා කිව්වත් මම යන්නේ නෑ

0
53

අසීරුම අවස්ථාවල පක්ෂය රැක ගත් තමා කවරකු කුමක් පැවැසුවද පක්ෂය හැර නොයන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවැසීය. අමාත්‍ය ධුරයක් භාර ගැනීමට තමා තීරණය කළේ රට ගැන සිතා බවද ඔහු කීය.  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සඳහා ඇමැතිවරයා ඊයේ (22දා) එහි ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසීය.

රටේ අනාගතය ගොඩනැංවීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවත් ඒ සඳහා පළමු යෝජනාව ඉදිරිපත් වූයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් බවත් ඔහු කීය.

‘මස් රාත්තලම ඉල්ලලා හරියන්නේ නෑ. අපිත් කැපකිරීමක් කරන්න ඕනේ. එහෙම කළොත් තමයි මේ වැටිච්ච අගාධයෙන් අපට ගොඩ එන්න පුළුවන් වෙන්නේ” යැයිද හෙතෙම සඳහන් කළේය.

මධ්‍යම කාරක සභා තීරණයට පිටින් අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 6 දෙනා පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති අතර එම මන්ත්‍රිවරුන් හයදෙනා අතර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රංජිත් සියඹලාපිටියද වේ.

සවනි ශේශාධි