කරුණාකර නවක වධය නවත්තන්න

0
7

“ආණ්ඩුව  ඔබේම සහෝදර සහෝදරියන්ට ඕනෑ තරම් වධ දීලා තියෙනවා. තවත් වධ ඕනෑ නෑ. කරුණාකරලා නවක වධය නවත්තන්නැයි ජනතා විමුක්ති පෙරමුණ  මධ්‍යම  කමිටු සාමාජික වෛද්‍ය  නලින්ද  ජයතිස්ස  පැවැසීය.”

“ජාතික ජන බලවේගය ලෙස කවරකාරයක හෝ නවක වධයක් අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ශාරීරික හෝ මානසික හෝ මේ දෙකේ එකතුවක් ලෙසින් කරන ඕනෑම ආකාරයේ වධයක් අපි ප්‍රතික්ෂේප කරනවා.

එවැනි දේවල් මානව සමාජයකට ගැළපෙන දේවල් නෙවෙයි. විශ්වවිද්‍යාලයක වේවා, වෙනත් රජයේ ආයතනයක වේවා බලහත්කාරය පාවිච්චි කරන එවැනි සියලු දේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි දේවල නිරත වන යම් පිරිසක් ඉන්නවා නම් ඔවුන්ට අපි කියන්නේ කරුණාකර මෙයින් මිදෙන්න කියලයි. මේ රටේ පාලකයන් විසින් ඔබේ සහෝදර තරුණ තරුණියන් හට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වේවා දෙන වධය හොඳටම ප්‍රමාණවත්.

ආණ්ඩු විසින් ඔබගේම සහෝදර සහෝදරියන්ට ඕනෑ තරම් වධදී තිබෙනවා. ඕනෑ තරම් මානසිකව පීඩා කර තිබෙනවා. ජීවිතය කලකිරවන තරමටම පාලකයන් විසින් උග්‍රකර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඔබ එක්ක එකට ඉගෙන ගන්න, ඔබ එක්ක එකට වැඩ කරන අයට සානුකම්පිතව සලකන්න. මේ වගේ පාලකයන් පාලනය කරන රටක මානව සමාජයේ අපේ පැවැත්ම තිබෙන්නේ අපි හැම දෙනාම එකිනෙකා තේරුම් අරගෙන අවබෝධයෙන් වැඩ කිරීම තුළයි.

කවුරු හරි කියනවා නම් මේකට දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලන්න. එවැනි දේශපාලන කණ්ඩායම්වලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. කාටවත් වධ දෙන්න කිසිම කෙනකුට අයිතියක් නෑ. ශාරීරිකව හෝ මානසිකව වධ බන්ධනයකට ලක් කරන්න කිසිම කෙනකුට අයිතියක් නෑ.

දේශපාලන පක්ෂයක් ඉන්නවා කියලා චෝදනා කිරීමේ තේරුමක් නෑ. පරීක්ෂා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල තියෙනවා. පරීක්ෂණ කරන ආයතන තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහාය ගන්න පුළුවන්. ශිෂ්‍යයන්ගේ සහාය ගන්න පුළුවන්. ඒ නිසා හරිහමන් පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට දඬුවම්දී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ නවකවධය මුලිනුපුටා දමන්න ඕනෑ” යැයිද  හෙතෙම වැඩිදුරටත් කීය.

විශ්වවිද්‍යාලවල නවක වධය හා පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර වූ ගැටුම සම්බන්ධව ඊයෙ (22දා) පක්ෂ මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්  විසින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

අනුරාධා හේරත්