කට වහනවට එරෙහිව ජී.එල්. ජාත්‍යන්තරයට

0
37

පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස නොදෙන නිසා ජාත්‍යන්තරයට පැමිණිලි කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවැසීය. ඒ අනුව අන්තර් පාර්ලිමේන්තු සංවිධානයට හා පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට පැමිණිලි කළ බවද මන්ත්‍රිවරයා කීය.

“මන්ත්‍රිවරුන් නිශ්ශබ්ද කිරීමෙන් ප්‍රශ්න විසඳන්න බෑ. ළමා මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. මන්ත්‍රිවරයාගේ ප්‍රමුඛ වගකීම සහ යුතුකම වන්නේ ජනතාවගේ දුක්, ගැටලු, ප්‍රශ්න අවංකව ඉදිරිපත් කිරීමයි. එසේ ඉදිරිපත් කිරීම සඳහා භාෂණ අයිතිය මූලික වෙනවා.

අද මේ සභාවේ මන්ත්‍රිවරුන් දහතුන් දෙනකුට කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙනවා. චේතනාන්විතව හා සැලසුම් සහගතව එය කර තිබෙනවා. අගෝස්තු 22 වැනිදා සිට දවස් විසි දෙකක් තිස්සේ මේ තත්ත්වය දිගින් දිගටම පවතිනවා. මේ මන්ත්‍රිවරුන් 13 දෙනා සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා. කිසිදු මන්ත්‍රිවරයකුට බලනොපාන සුවිශේෂ නීතියක් හෝ සම්ප්‍රදායක් මේ මන්ත්‍රිවරුන් දහ තුන් දෙනා සම්බන්ධයෙන් අද ක්‍රියාත්මක වෙනවා. ඊයේ මේ සඳහා කාලෝචිත විවාදයක් තිබුණා. මේ මන්ත්‍රිවරුන් දහතුන් දෙනා අතර ආර්ථිකය ගැන දැනුමක් තිබෙන මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සිටිනවා.

ඊයේ විවාදයට එකතුවීමට අපට ඉඩ දුන්නේ නෑ. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාදවලට ඍජුව බලපාන ප්‍රශ්නයක්. වරප්‍රසාදවලට පමණක් නොව ජනතා පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා පාර්ලිමේන්තු ක්‍රමයේ අඩිතාලම දෙදරන විධියේ තත්ත්වයක්. මේ මන්ත්‍රිවරුන් දහතුන් දෙනාගේ අස්සන් සහිතව අප ජාත්‍යන්තරයට යනවා. අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මහ ලේකම්ට අප මේ පිළිබඳව ලිඛිතව පැමිණිලි කරනවා එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට මේ පිළිබඳව පැමිණිලි කරනවා. මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළා. ඒත් වෙනත් බලවේග නිසා ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණා. මෙය ජනතාවට කරන අවැඩක් මෙන්ම අසාධාරණයක්. පාර්ලිමේන්තුව එන සතියේ රැස්වන විට ප්‍රශ්නය නිරාකරණය කොට භාෂණයේ නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මන්ත්‍රිවරුන්ට කතා කරන්නට ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති බය නිසාද?

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග

පාර්ලිමේන්තුවේ සිටින සැමට කතා කිරීමේ අයිතිය තිබෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා කොටස් දෙකක් තිබෙනවා. ස්වාධීන කොටසක් කියා දෙයක් ඉතිරි වන්නේ නෑ. දෙපැත්තටම නැති අය සිටිනවා නම් මැදට ආසන ටිකක් දමා ස්වාධීන කිව යුතුයි. එහෙම වුණොත් වෙන්නේ  වෙස්ට්මිනිස්ටර් ක්‍රමය නැතිවී ඔළු තුනේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න වෙනවා. ස්වාධීන වෙන අයට ඔළු තුනේ බූරුවන් යැයි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කිව්වා. අපි එහෙම කියන්න කැමැති නැහැ එතුමාලටත් කතා කරන්න අයිතිය තිබෙනවා. ස්වාධීන වී දෙපැත්තෙම නැති වුණාම කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයෙන්ද විපක්ෂයෙන්ද? අපේ කාලයෙන් දෙන්නම් විපක්ෂයෙන් දෙනවාද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව දෙන්නේ පාර්ලිමේන්තුවට තේරුණ කණ්ඩායමේ වෙලාවයි. විපක්ෂයේ වාඩි වුණු අය තේරුණේ පොදු පොදුජන පෙරමුණෙන්. වෙලාව දිය යුත්තේ ඒ අනුවයි.

අනුරාධා හේරත් , සඳුනි ගමාරච්චි