උතුරු මැද පළාතේ ගුරුවරු 3600ක හිඟයක්

0
4

මේ වන විට උතුරු මැද පළාතේ පාසල්වල 3600ක ගුරු හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් විශාල ප්‍රමාණයක් වැසී යෑමේ තර්ජනයට ලක්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘මව්බිම’ට පැවැසීය.

ඔහු මෙසේද පැවැසීය.

ඇමැති මණ්ඩලය පුළුල් කරමින් විශාල ධනස්කන්ධයක් වැය කරන වත්මන් පාලකයෝ රටේ දරුවන්ගේ අනාගතය ගැන නොසිතීම කනගාටුවට කරුණක්. පසුගිය වසරේ විශ්‍රාම නොගත් ගුරුවරුන් සමඟ ලබන දෙසැම්බර් මාසය වන විට තවත් ගුරුවරු දහසක් පමණ විශ්‍රාම යෑම හේතුවෙන් එම ගුරු හිඟය හාර දහස් පන්සියයක් (4500) දක්වා ඉහළ යනවා. මේ නිසා  දෙසැම්බර් මාසය වන විට නාගරික පාසල්වල පවා උග්‍ර ගුරු හිඟයක් ඇති වෙනවා.

එසේ වුවත් මේ දක්වා ඒ සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු කර නෑ.

මේ වනවිට මෙම ගුරු හිඟය හේතුවෙන් ග්‍රාමීය පාසල් බොහොමයක දරුවන්ට නිසි අධ්‍යාපනයක් නෑ. ඇතැම් පාසල්වල සිටින්නේ විදුහල්පතිවරයා පමණයි. ඇතැම් පාසල්වල ගුරුවරුන් එක්කෙනයි දෙන්නයි ඉන්නේ. සංවර්ධන නිලධාරීන් යොදාගෙන කරන ඉගැන්වීම් කටයුතු ඵලදායි වෙලා නැහැ. එම නිලධාරීන්ට කිසිම ගුරු පුහුණුවක් නැහැ. මේ නිසා උතුරු මැද අධ්‍යාපනය අයාලේ යනවා. දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පවා රජය උදුරාගෙන තිබෙනවා.

උතුරු මැද පළාත් සභා බලධාරීන්ට පසුගිය කාලයේ උතුරු මැද පළාතට අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමට තිබුණු අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය ගැසට් එක පවා නිසි ලෙස සකස් කරගැනීමට නොහැකි වුණා. එම බඳවා ගැනීම් ප්‍රමාද වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගුරු හිඟය උග්‍ර වුණා. රාජ්‍ය සේවය පුළුල් නොකිරීමට රජය මේ වන විට ගෙන ඇති තීරණය සමඟ එම ගැසට් පත්‍රය යළි නිකුත් කර තිබෙනවා. නමුත් ඒ මඟිින්ද ගුරුවරුන් වෙනුවට ඔවුන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරල තිබෙනවා. මේ නිසා එයින්ද ගුරු හිඟයට පිළියමක් ලැබෙන්නේ නැහැ.

මෙතෙක් විද්‍යා පීඨවලින් පිටවූ දෙදහස් අටසියයක් (2800) සඳහා  පත්වීම් ලබාදී නැහැ. මේ තත්ත්වය හමුවේ මේ සඳහා පිළියම් ලෙස සේවා දිගු කිරීම පිළියමක් නෙවෙයි කළ යුත්තේ එම විද්‍යා පීඨ සිසුන් හා නව උපාධිධාරීන්ගෙන් මෙම ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීමයි.

විශාල පිරිසක් විශ්‍රාම යෑම නිසා නව බඳවා ගැනීම් සඳහා රජයට අමතර මුදල් වැය කිරීමට සිදුවන්නේද නැහැ. මේ නිසා කඩිනමින් මෙම බඳවා ගැනීම් සිදුකළ යුතුයි.