ඉල්මනයිට් වැලි කැණීම් සඳහා දුන් මන්නාරම් දූපත හා අවට ඛාදනයට ලක්වෙලා

0
30

මන්නාරම් දූපත හා අවට මුහුදු ප්‍රදේශයද සමඟ වර්ග කිලෝමීටර් 204ක් ඉල්මනයිට් වැලි කැණීම සඳහා ඕස්ට්‍රේයානු සමාගමකට ලබාදීම නිසා එම දූපත මුහුදු ඛාදනයට ලක්වීමේ තර්ජනයක් මතුව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පැවැසීය.

මේ තත්ත්වය යටතේ එහි වෙසෙන ජනතාවට පානිය ජල හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවත්, එහි ජනතාවට පවතින අධ්‍යාපන, රැකියා, සෞඛ්‍ය ආදී ප්‍රශ්නවලට තවත් ප්‍රශ්න එකතුවීමක් සිදුවෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය. මන්නාරම් දූපතේ ඇත්තේ වර්ග කිලෝමීටර් 140ක් පමණක් වන අතර එම සමාගමට වර්ග කිලෝමීටර් 204ක් දීම තුළින් අවට මුහුදු ප්‍රදේශද ඔවුන්ට දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ‍යෂ්ඨ  උපදේශකවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ‍ඊයේ (21දා) පැවැති මාධ්‍ය  හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු තවමත් ඛනිජ වැලි කැණීම් ආරම්භ කර නැතත්, මේ වනවිටත් එම ඕස්ට්‍රේලියානු සමාගම එහි කොටස් විකුණමින් සිටින්නේ ආදායම් ගැන පවා කියමින් යැයිද කීය. මේ වනවිටත් ගවේෂණ කටයුතු සඳහා එම ප්‍රදේශයේ කුහර 3,500ක් පමණ හාරා ඇති බවත් එයින් කුහර 473ක් අඩි හතළිහක් පමණ ගැඹුරැති කුහර බවත් විතානගේ මහතා කීය.

මෙම වැලි සාම්පල ගැනීම සඳහා සමහර පෞද්ගලික ඉඩම්වලට බලෙන් ඇතුළු වී ඇතැයි වාර්තා වන බව කී ඔහු මේ වනවිට ඛනිජ වැලි සාම්පල 468ක් පරීක්ෂණ සඳහා දකුණු අප්‍රිකාවට යවා ඇතැයිද සදහන් කළේය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ පනත යටතේ විදේශීය සමාගමකට බලපත්‍ර නිකුත් කළ නොහැකි නමුත් මෙම ඕස්ට්‍රේලියානු සමාගමට එම අයිතිය දී ඇතැයි ද විතානගේ මහතා පෙන්වා දුන්නේය.

විනීතා එම්. ගමගේ