ඉදිරියටම යනවා නම් අමතක නොකරමු පාඩම්

0
15

“සර්වපාක්‍ෂික ආණ්ඩුවකට එක්වන්නැයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට යළි යළිත් ආරාධනා කරන බවත්, මේ අවස්ථාවේ රටේ, ජාතියේ අවශ්‍යතාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම අපි හැමෝගෙම වගකීමක් බවත්” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (පසුගිය අගෝස්තු 30 වැනිදා) පාර්ලිමේන්තුවට අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැති කතාව අවසානයේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් දැකගැනීමට හැකිවිය. නිදහසින් පසුව ගෙවුණු 74 වසරක පාලනය තුළ මෙරට පාලන බලය ගෙනගිය නිල්, රතු, කොළ දේශපාලන පක්‍ෂ පාලනය තුළින් ජනතාවට උරුම කළ එකම පලය වූයේ කුසගින්න, උද්ධමනය, ණය බර යන පීඩාකාරී සාධකයන් පමණි. තරුණ අසහනය, විරැකියාව පමණි. එයට එරෙහිව නැඟුණු ජනතා විරෝධය (ජන අරගලය) හමුවේ පාලකයන්ට තනතුරු පදවි හැරදා රටින්ද පලා යෑමට සිදුවූ බව වත්මන් පාලකයන්ද අමතක නොකළ යුතු නිරතුරුව ආවර්ජනා කළ යුතු සංසිද්ධියක් බව අවධාරණයෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමි.

මෙරට දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් (මන්ත්‍රිවරුන්) අතරින් බහුතර කැමැත්ත, විශ්වාසය දිනාගත් පුද්ගලයා ලෙසට (2022.08.20 වැනි දින) මුළු ඡන්ද 134ක් හිමිකර ගනිමින් වැඩි ඡන්ද 52ක් ලබා ජය ගනිමින් 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්විය. “බෙදුණු අවස්ථාව ඉවරයි. සියලු දෙනා එක්ව රට ගොඩනඟමු” කියා අභිනව ජනපති ලෙස පත්වූ මොහොතේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්‍ෂ විපක්‍ෂ සියලු පක්‍ෂ නායකයන්ට හා මහජන නියෝජිතයන්ට වික්‍රමසිංහ මහතා තම වැඩපිළිවෙළට සහාය දක්වන ලෙසට කළ ඉල්ලීම අමතක කළ යුතු නැත.

9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය ආරම්භ කරමින්ද ජනාධිපතිවරයා රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ ඒකාබද්ධව සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව හා වැදගත්කම පැහැදිලි කරන ලදී (2022.08.03 පාර්ලිමේන්තුවේදී). අස්ගිරි-මල්වතු මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද සෙසු ආගමික නායකයන්ද දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධානද සර්වපාක්‍ෂික (රජයක) ආණ්ඩුවක අවශ්‍යතාව මීට පෙර කිහිප අවස්ථාවකදීම පෙන්වාදී තිබේ.

“ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇති අතර, ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට ඔහුට ආශීර්වාද කරන බව” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද ප්‍රකාශ කර තිබිණි. (2022.08.09 ‘මව්බිම’ පිටු 07). පැල්පොල විපස්සි, ඕමාරේ කස්සප යන හිමිවරුන්ද රට ගොඩනැඟීමට රනිල්ට කාලය ලබා දිය යුතු බව මීට පෙර අනුශාසනාවලදී ප්‍රකාශ කර තිබිණි.

ආහාර උද්ධමනයෙන් ලොව 5 වැනි තැනටත්, මන්දපෝෂණයෙන් ලොව දෙවැනි තැනටත් ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්,

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වැනි තැනටත් දකුණු ආසියාවෙන් 2 වැනි තැනටත් පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානයද ප්‍රකාශ කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑමත් විදුලි, ජල හා දුරකථන ගාස්තු ඉහළ යෑමත් ඉන්ධන හා ගෑස් අර්බුදයක් නිසා ජනතාව බරපතළ ආර්ථික හා මානසික පීඩාවකට පත්ව සිටිති. බදු බරද ජනතාවගේ කර පිට පැටවී ඇත.

මෙවැනි ආර්ථික අර්බුදයකට රට පත්වී සිටින අසීරු අවස්ථාවක (විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ) ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය සහන ආධාරයක් (ඇ.ඩොලර් කෝටි 290) ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීම සුබදායී ප්‍රවණතාවකි.

එම නිසා “සර්වපාක්‍ෂික ආණ්ඩුවක්” පිහිටුවීමේ කාර්යභාරය තවත් ප්‍රමාද කළ යුතු නැත. “සර්වපාක්‍ෂික” වචනයද තව තවත් ජප කරමින් කියමින් පිළුණු කළ යුතු නැත. ජනතා මුදල් ගසා කෑ වැරදි ආර්ථික

කළමනාකරණය තුළින් බංකොලොත් කළ රටක්, පීඩිත ජනතාවත් කඩිනමින් මේ නරාවළෙන් ගොඩ දැමිය යුතුය.

ජාත්‍යන්තරය පිළිගත් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගෙන රට අර්බුදයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බව සමහරකුගේ විශ්වාසයක් ඇතිවී තිබේ. එසේ නම් පක්‍ෂ, පාට, දේශපාලන න්‍යායන් හා මතවාදයන්ට වඩා වැදගත් විය යුත්තේ රටයි. අභියෝග භාර ගත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩනැඟීමට සහාය ලබාදීම පක්‍ෂ විපක්‍ෂ සියලු පාර්ශ්වයන්ගේ පරම ජනතා අප්‍රසාදයට, පිළිකුලට හා වෛරයට පාත්‍ර වූ දේශපාළුවන් ඉවත ලා (ඔවුන් කිසිදු ඇමැති තනතුරකට පත් නොකොට) රට, ජාතිය වෙනුවෙන් අවංකව කැපවෙන ජනතා හිතෛෂී උගත්, වැදගත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ජනතාවාදී සර්වපාක්‍ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීමට නොපමාව ක්‍රියා කිරීම ජනාධිපතිතුමාගේ වගකීමකි.

රසික ප්‍රියංකර පෙරේරා

පොතුපිටිය – වාද්දුව