ආරක්ෂාව තර කරන්න

0
131

ඓතිහාසික මුලතිව් කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කර එහි පුරාවිද්‍යා කැණීම්හි නිරත නිලධාරීන්ට බාධාවකින් තොරව රාජකාරි කරගෙන යෑමට පරිසරය සකසන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. එම ලිපිය මෙසේය.

මෙරට ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදී විහාරවාසී භික්ෂුන් වහන්සේලාට සහ දායක පිරිස්වලට පහර දෙමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මැර පිරිසක් පිළිබඳ පුවත කෙරෙහි ඔබතුමන්ගේ අවධානය දැනටමත් යොමුව ඇතැයි සිතන්නෙමි. පළමුව ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි.

පටු දේශපාලන වාසි තකා ප්‍රදේශවාසීන් නොමඟ යවමින්, ඔවුන් විරෝධතාවල යොදවමින්, මෙම පුරාවිද්‍යා ස්ථානයෙහි කෙරෙන කැණීම් කටයුතුවලට සහ පුරාණ විහාරයට අයත් චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවලට දිගින් දිගටම කෙරෙන බාධා කිරීම් මෙම සිදුවීමත් සමඟ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇති අතර එමඟින් මෙම ඓතිහාසික මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව තිබෙන බව පෙනී යයි.

එහෙයින් මෙම පුරාවිද්‍යා ස්ථානයෙහි අඛණ්ඩ ආරක්ෂාව පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එසේම මෙම ඓතිහාසික උරුමය ඔප් නංවමින් අනාගත පරපුරට දායක කිරීම පිණිස වෙහෙසෙන එහි පුරාවිද්‍යා කැණීම් කටයුතුවල සහ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නිලධාරීන්ට එම රාජකාරි බාධාවකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකසා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.