අවුරුදු 16 ක දැරියට අතවර කරන්න ගිය සුළු පියා අත්අඩංගුවට

0
8

වයස අවුරුදු 16ක දැරියක් කොට්ටව, හැලකර ප්‍රදේශයේ කැලෑවකට ගෙනගොස් ලිංගික අතවර කිරීමට තැත් කළ එම දැරියගේ සුළුපියා ඊයේ (21දා) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ කොට්ටව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. මෙකී දැරිය යක්කලමුල්ල ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක මැහුම් පාඨමාලාවක් හදාරමින් සිට ඇත.

මව විසින් දැරිය රැගෙන ඒමට යන අතර සිද්ධිය වූ දින මව අසනීප වීම නිසා දැරියගේ සුළුපියා ඇය රැගෙන ඒමට ගොස් ඇත. දැරිය රැගෙන එන අතරතුර සුළුපියා විසින් පාළු ප්‍රදේශයකදී ඇයගේ මුඛය වසා හැලකර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට දැරිය පැහැරගෙන ගොස් ඇත. දැරිය කෑගසමින් මොහු සමඟ පොරබැද තිබේ. දැරිය කෑගසන ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණි කාන්තාවක් විසින් දැරිය බේරාගෙන ඇත.

දැරියගේ මව මේ පිළිබඳ පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව පළමු විවාහයෙන් වෙන්වී ඇති අතර ඇය සැකකරු සමඟ දෙවැනි වර විවාහ වී ඇත. පළමු විවාහයෙන් ඇයට දරුවන් තිදෙනකු සිටින අතර දෙවැනි විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (22දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා

ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

ගාල්ල – කමල් විජේහේවා