අනුන්ගේ ඩෙබිට් කාඩ්පතින් මත්පැන් ගත් බැංකු ආරක්‍ෂක නිලධාරියා මාට්ටු

0
15

බැංකු සේවා ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයකුගේ ඩෙබිට් කාඩ්පතක් සොරකම් කර ඉන් මුදල් ගෙවා මත්පැන් මිලට ගත් බව කියන කටුගස්තොට ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියකු සී.සී.ටී.වී. දර්ශන මඟින් ලබාගත් දර්ශන ඔස්සේ හඳුනාගත් සිද්ධියක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වෙයි.

මුදල් තැන්පත් කිරීම සඳහා 21දා පැමිණි අලදෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවකයකු එම කටයුතු නිම කිරීමෙන් පසු ඔහුගේ ඩෙබිට් කාඩ්පතින් රුපියල් 2,000ක මුදලක් ලබාගෙන ඇත. එම ගනුදෙනුව නිම කිරීමෙන් අනතුරුව ආපසු අලදෙණිය බලා යන අතරතුර ඔහුගේ කාඩ්පත භාවිත කර රුපියල් 9,000ක මිලදී ගැනීමක් කර තිබෙන බවට කෙටි පණිවුඩයක් ඔහුගේ ජංගම දුරකථනයට ලැබී තිබේ. තම ඩෙබිට් කාඩ් පත නොමැති බව දැනගත් අදාළ පුද්ගලයා විනාඩි කිහිපයක් තුළ යළි බැංකුවට ගොස් සිද්ධිය සම්බන්ධව බැංකු කළමනාකාරවරයා දැනුවත් කර ඇත.

පොලිස් පැමිණිල්ලක් නොමැතිව බැංකුවේ සී.සී.ටී.වී. කැමරා දත්ත පරීක්ෂා කළ නොහැකි බව කළමනාකරු දැනුම් දීම නිසා එම පුද්ගලයා ඒ සම්බන්ධව කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනකු (22දා) පැමිණ කළ පරීක්‍ෂාවේදී ඒ.ටී.එම්. යන්ත්‍රය මත තිබෙන බැංකු කාඩ්පත ආරක්ෂක නිලධාරි සොරා ගන්නා අයුරු එහි පැහැදිලිව සටහන්ව තිබී ඇත.

අදාළ කාඩ්පත සොරා ගැනීමෙන් පසු බැංකුවට ආසන්නයේ තිබූ මත්පැන් අලෙවි සලකින් රුපියල් 28,000ක මත්පැන් මිලට ගත් බවත් කාඩ්පත උපයෝගි කරගෙන ගෙවීම් කිරීමේදී එහි රුපියල් 9,000ක මුදලක් පමණක් තිබීම නිසා ඉතිරි මුදල් තම මුදල්වලින් ගෙවූ බවත් ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා තිබේ.

කාඩ්පතින් ලබාගත් රුපියල් 9,000ක මුදල ආරක්ෂක නිලධාරියා පොලිසියේදීම පැමිණිලිකරුට දීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඔහු පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන ඇත.

මහනුවර – කේ.එල්. සුරවීර