පාසල් දරුවන් ක්ලාන්ත වී ඇද වැටීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුව රත් වෙයි (VIDEO)

0
160

නිසි පරිදි අහාර ගෙන නොමැති වීම හේතුවෙන් පාසල් උදෑසන රැස්වීම්වලදී පාසල් සිසුන් සිහිසුන්ව ඇද වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාරසිරි අද (සැප්. 22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව, ඊයේ (සැප්. 21) දිනයේදී පමණක් අනුරාධපුර, විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ පාසල් තුනක දරුවන් 20කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස ක්ලාන්ත වී ඇද වැටී ඇති බව ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම ඔහු සඳහන් කළේ, ගම්පහ, මිනුවන්ගොඩ පාසලක දරුවෙකු දිවා ආහාරය සඳහා කුරුම්බා ලොඳ ගෙන ආ ඇති බව ය.

මේ පිළිබඳව සොයා බලා කඩිනමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සරත් කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, මිනුවන්ගොඩ පාසල් දරුවා පිළිබඳව එම පාසලේ විදුහල්පතිගෙන් විමසීමක් කළ බව ය.

එහිදී එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරක් නොමැති බවට විදුහල්පති පැවසූ බව රඹුක්වැල්ල මහතා පැවසීය.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මිනුවන්ගොඩ විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ හඬපටයක් ද පාර්ලිමේන්තුවට ඇසෙන්නට සැලැස්වීය.

එහිදී කතානයක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ මෙම ක්‍රියාව වැරදි බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ නොහැකි බව ත් ය.

මේ පිළිබඳව සභානායක ප්‍රසන්න රණතුංග ද ප්‍රතිචාර දැක් වූ අතර ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලූ බව ත් එහිදී එම පාසලේ එවැනි දෙයක් සිදු වී නොමැති බව ත් ය.