විශේෂඥ වෛද්‍යවරු 300ක් එක ම දිනයකදී විශ්‍රාම යති

1
200

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ලබන දෙසැම්බර් 31 දායින් පසු විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු පමණ විශ්‍රාම යන බව ත් මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙන බව ත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එක් දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ම පිරිසක් විශ්‍රාම ගන්නා දිනය දෙසැම්බර් 31 වන දා වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වේ.

ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 30ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 17ක්, ළමා රෝහලේ 15ක් හා අපේක්ෂා රෝහලේ 9 දෙනෙකු ද දෙසැම්බර් 31 වන දා විශ්‍රාම ගන්නා බව ද එහි සඳහන් වේ.

මේ අතර, මෙරට සේවය කරන ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දායක වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 33 දෙනාගෙන් 08 දෙනකු 31 වන දා විශ්‍රාම ගන්නා බව ද වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ නිවේදනයේ දැක්වේ. මෙයින් දෙදෙනෙකු මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති බව ත් පස් දෙනෙකු විදේශගත වී ඇති බව ත් එහි සඳහන් වේ. තවත් දෙදෙනෙකු විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් අවසානයේ ඉතිරිවන්නේ පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙකු පමණකැයිද එහි සඳහන්ව තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අර්බුදයේ ප්‍රමාණය පෙන්වා දෙන හොඳ ම උදාහරණය අපේක්ෂා රෝහලේ ඇට මිදුළු සැත්කම් බව ත් එහි මේ වනවිට දින ලබා දෙන්නේ 2025 වසරේ සැත්කම් සඳහා බව ත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

1 COMMENT

  1. මෙය රජය ගත් ඉතා හොඳ සහ ප්‍රගතිශීලී පියවරකි. විශ්‍රාමික වයස අවුරුදු 55 නොව 60 ලෙස නියම කර ඇතත් සමහර වෘත්තීය සමිති මෙයට විරුද්ධ ඇයි? ඇරත්, විශ්‍රාම යන වයස අඩු කිරීමට විරුද්ධ වන මේ අය නිදහස් වූ අවුරුදු පහක කාලය විදේශගත වී තමන්ටම ධනයක් උපයා ගැනීමටත්, රටට විදේශ විනිමය මුදලක් උපයා ගැනීමටත් ප්‍රයෝජන නොගන්නේ මන්ද? රාජ්‍ය සේවයට බලපෑමක් වෙනවා කියලා මවාපෑමට උත්සාහ කරන නමුත් සත්‍යය නම් ඔවුන් ඊට විරුද්ධ වන්නේ ඔවුන් පීඩාවට පත්වන නිසයි. වෘත්තීය සමිති බලපෑම් මත රජය මෙම අතිශය යෝග්‍ය තීරණයෙන් පියවරක් පස්සට ගන්නේ නම් එය ඛේදවාචකයක් වනු ඇත. පෞද්ගලික අංශයේ වයස් සීමාව අවුරුදු 55 දක්වා සීමා කිරීමට ද රජය සලකා බලනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය ශ්‍රී ලංකාව වන අතර බොහෝ දුරට තරුණ පරම්පරාවක් ආයතනය තුළ රැකියාවක් සහ වෘත්තීය ප්‍රගතියක් අපේක්ෂා කරන රටකි. අපට මේ සඳහා විසඳුමක් අවශ්‍ය වන අතර විශ්‍රාම යන වයස සීමා කිරීම විසඳුම සහ ඉදිරි මාර්ගයයි.

Comments are closed.