හිරගෙදරට ගෙනාදාම රැඳවියා පැනගිහින්

0
11

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දඬුවම් නියම කළ සිරකරුවකු සිරගත කළ දිනයේදීම වැලිකඩ බන්ධනාගාරයෙන් අතුරුදන්ව ඇත. ගංජා සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මසක සිර දඬුවම් නියම කෙරුණු පුද්ගලයකු  එසේ අතුරුදන්ව ඇත.

ඉකුත් 16 දින සිරදඬුවම් නියම වූ මෙම පුද්ගලයාව බන්ධනාගාර නිලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැලිකඩ  බන්ධනාගර රෝහල වෙත යොමුකර පසුව සිරමැදිරියක රඳවා ඇත. එසේ රඳවා සිටි පුද්ගලයා එදින පස්වරු 8ට පමණ ආහාර ලබාගැනීමේ පෝලිමේ සිටින අතරතුරදී අතුරුදන්ව ඇති බවද දැනගැනීමට තිබේ.

ගංජා සන්තකයේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් 2,000ක දඩයක් නියම කෙරුණු එම සිරකරුවාට අදාළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිවීම නිසා අධිකරණය මඟින් ඔහුට  එසේ මසක සිරදඬුවමක් ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවැසීය.

මෙම සිරකරුවා කිසියම් ආකාරයකින් වැලිකඩ බන්ධනාගාර තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පොලිසිය එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඒකනායක මහතා වැඩිදුරටත් පැවැසීය.  

කුමුදු උපුල් ශාන්ත