සෞඛ්‍ය අමාත්‍යාංශය බිල්ඩිමකට ලක්ෂ 446ක් වැඩිපුර කුලී ගෙවලා

0
17

කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිල්ලක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තක්සේරු වාර්තාවේ මාසික තක්සේරු කුලියට වඩා රුපියල් ලක්ෂ 446කට අධික මුදලක් (44,610,000) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

වසර දෙකක කාල සීමාවක් සඳහා කුලියට ගැනීමේදී පළමු වර්ෂය සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 94කට අධික මුදලක් (9,487,500) ද, දෙවැනි වර්ෂය සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂක 104කට අධික (10,436,250) මුදලක් ලෙසද කුලිය ගෙවීමට ගිවිසුම්ගත වී ඇත. 

මෙම ගොඩනැඟිල්ල සඳහා පසුගිය පස් වසර තුළදී පමණක් රුපියල් කෝටි 49ක මුදලක් (492,244,824) සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇති බව නිවැරදි තක්සේරුවක් මත බදු කුලිය නිර්ණය කිරීම සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවෙන් සඳහන් කර තිබේ.

එසේම ගොඩනැඟිල්ලේ හිමිකරු විසින් ගෙවිය යුතු මාසික වෙළෙඳ කුලිය වන රුපියල් 5,770,000ක මුදල ලෙස පසුගිය අවුරුදු 03 මාස 05ක කාලය පුරා රුපියල් ලක්ෂ 208කට අධික මුදලක් (20,830,293) ගොඩනැඟිල්ලේ හිමිකරුට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවා ඇති බවත් එම වාර්තාවේ දක්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයටම අයත් නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු 2016 වර්ෂයේ සිට සිදු වුවද එම ඉදිකිරීම් කටයුතු විවිධ හේතූන් මත ප්‍රමාදවීම නිසා අමාත්‍යාංශය විශාල බදු කුලී වියදමක් දරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මිතුන් ජයවර්ධන