සේරුවාවිල පූජා භූමි රක්ෂිතයේ නිදන් හෑරූ දෙකක් අත්අඩංගුවට

0
9

ඓතිහාසික සේරුවාවිල පූජා භූමියේ රක්ෂිතයක නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයන් දෙදෙනකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් තස්ලිම් තව්සාන් මහත්මිය නියෝග කළාය.

ඉකුත් 18දා සේරුනුවර පොලිස් වසමේ දෙහිවත්ත සිරිවඩ්ඩනාරාමය පරිශ්‍රයේ පුරාවිද්‍යා  රක්ෂිතය තුළ බැකෝ යන්ත්‍ර යොදාගෙන නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවකු රක්ෂිතයට යාබද ඉඩමක   පදිංචිකරුවෙකි.

 ගැසට් නිවේදනයක් මඟින් 2012දී සිරිවඩ්ඩනාරාමය ආශි්‍රත භූමිය පුරාවිද්‍යාත්මක නටබුන් සහිත පෞරාණික පූජනීය ස්ථානයක් ලෙස නම් කර ඇත. ඊට ඇතුළුවීමද සපුරා තහනම් කොට ඇත. එසේ තිබියදී බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කැණීම් කළ බවට 119 හදිසි දුරකථන අංකයට ලද තොතුරක් මත සැකකරුවන් හා බැකෝව අත්අඩංගුවට ගෙන තිබිණි.

කන්තලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි  අශෝක මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සේරුවාවිල සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩෙනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කන්තලේ _ ඩබ්.එම්. වික්‍රමසිංහ