සිය වසක් නගර සභාවක්ව තිබූ ඓතිහාසික කළුතර හෙට අනිද්දා මහ නගර සභාවක්

0
5

අතීතයේදී කාලථිත්ත නමින් හැඳින්වූවා යැයි සැලකෙන, කළුගඟ මුහුදට වැටෙන සුන්දර නගරය අද බස්නාහිර පළාතේ ප්‍රධාන නගර තුනෙන් එකකි. එමෙන්ම නගරය හෙට අනිද්දා දිනෙක උත්සවාකාරයෙන් සිය සංවර්ධනයේ දැවැන්ත පිම්මක් පැනීමට සූදානම්ය. ඒ වසර සියයක් පුරා නගර සභාවක් ලෙස පැවැති මේ ඓතිහාසික නගරය මහා නගර සභාවක් බවට පත්වීමෙනි. කළුතර නගර සභාව මහා නගර සභාවක් බවට උත්ශේ‍ර්ණිගත කිරීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර අවසන්ය. ඒ අංක 2296/05 – 2022.09.06. දරන රජයේ ගැසට් පත්‍රයට අනුවය.

ඓතිහාසික බෝධීන් වහන්සේ සහ කළු ගං නදිය නිසා කළුතර නගරය ලෝ ප්‍රචලිතය. එසේ ප්‍රචලිත නගරය පිළිබඳ මේ දිනවල යළි කතා බහට ලක් වන්නේ නගරයේ සිදුවන්නට නියමිත මෙම පරිපාලන වෙනස හේතුවෙනි. කළුතර යනු ඓතිහාසික උරුමයක් උරදරාගත් නගරයකි. ඒ පිළිබඳ මෙරට ඉතිහාසඥයකු වන එල්.ආර්. බ්‍රෝහියර් ලියා ඇත්තේ මෙලෙසය. “ඔවුහු (තම) අගනුවර කාලය පිළිබඳ ස්වභාවය හඟවන වේලාපුරය ලෙස නම් කළහ. ඒ අනුව කළුතර නගරය ලංකාවේ නිරිත දිග නගර අතුරින් “පුරය” යන උදාරත්වය අත් කරගත් එකම නගරය බවට පත්විය.”

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කෘතියක් රචනා කරන මහාචාර්ය කේ.එම්. ද සිල්වා අතීතයේ මෙරට වරායන් ලෙස දියුණු වූ නගර පිළිබඳ සටහනක් තබමින් මෙසේ ලියයි.

“වැඩි වශයෙන් විදේශ වෙළෙඳාම සිදු වූයේ බස්නාහිර වෙරළ තීරයේ පිහිටි කල්පිටිය, පුත්තලම, හලාවත, කම්මල, මීගමුව, කොළඹ, කළුතර, බේරුවල හා ගාල්ල ආශ්‍රය කරගෙනය”

කළුතර නගරයේ මෙම විශේෂත්වය නිසාම ආක්‍රමණිකයන්ගේ ඇසද වහාම කළුතරට යොමු වීම අරුමයක් නොවේ. ඒ අනුව පෘතුගීසීන්ද ලන්දේසීන්ද ඉංග්‍රීසීන්ද මුහුදුබඩ කලාපයේ තම බලය තහවුරු කර ගත් විගස කළුතර බලකොටුවක් ගොඩ නැඟීමට යුහුසුලු වූ බව පෙනෙන්නට තිබේ. බලකොටු ගොඩනඟමින් සිය ආරක්ෂාව තහවුරු කරගන්නා අතරතුරම මෙම බටහිර ජාතීන් තුනම කළුතර සිය වෙළෙඳ කටයුතු සඳහා පාවිච්චි කර ගැනීමට අමතක නොකළ බවටද ඉතිහාසය සාක්ෂි දරයි.

ඒ කළුතර මුහුදුබඩ නගරයක් වීමේත් රට හරහා ගලා එන කළුගඟ මුහුදට වැටෙන මෝයකට මෙම නගරය මධ්‍යයේ පිහිටා තිබීමත් නිසාය. කුරු¾දු, පොල්, පුවක්, ගම්මිරිස්, එනසාල්, කරාඹුනැටි පාරුවල නැඟී කළුගඟ දිග පැමිණ මෙරටින් නොරටට ගිය එක් ප්‍රධාන තොටුපොළක් ලෙස කළුතර සැලකිය හැකිය. යටත් විජිත යුගයේ පමණක් නොව හෙළ රජ දවසද මෙම කුළුබඩු මේ ලෙසම කළුතර වරාය කොටගෙන විදෙස් ගතවූ බවද ඉතිහාසයේ සඳහන්ය.

මෙසේ මෙරට සම්පත්, මෙරට කුළුබඩු විදේශයන් වෙත යන්නට කළුතර මුල් වූවාක් සේම විදේශික යටත්විජිත පාලනය මෙරටින් පලවා හැරීමටද කළුතර අතීතයේදී මූලිකත්වය ගත් බවට සාධක ඉතිහාසයේ සටහන්ව ඇත. එම සටහන තබා ඇත්තේ ජෝන් ඩී. රොජර්ස් නම් ඇමරිකානු ජාතිකයෙකි. ඔහු මෙසේ කියයි.

“නිරිත දිග මුහුදුබඩ ප්‍රදේශයේ පැවැති පළමු ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණය වන්නේ 1896 නොවැම්බර් 26 වැනි දින පැවැති ආගම ආශ්‍රය කරගත් ජන රාශියයි” රොජර්ස් කියන මෙම “ආගම ආශ්‍රය කරගත් ජන රාශිය” කුමක්ද?

අදටත් කළුතර ලොව ප්‍රසිද්ධ කළුතර බෝධීන් වහන්සේ හේතුවෙනි. වර්තමානයේ විරාජමාන වන බෝධීන් වහන්සේ නොවූවද එදාද සිදුවූයේ එහි පිහිටි බෝධීන් වහන්සේ දෙනමක් කපා බිම හෙළීමට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගත් තීරණයට එරෙහිව ස්වදේශිකයන් එක්ව එකා මෙන් නැඟී සිටීමයි. අවසානයේ මෙම සිද්ධිය මුළු රටම කැලඹූ සිද්ධියක් වූ අතර බෝධීන් වහන්සේලා බේරාගැනීමේ උද්ඝෝෂණයට පිට පළාත්වලින්ද පිරිස එක් රොක් වූ බවත්, එක් බෝධීන් වහන්සේ නමක් කපා බිම හෙළා තිබියදී අනෙක් බෝධීන් වහන්සේ බේරා ගැනීමට මෙම විරෝධතාවට හැකි වූ බවද ඉතිහාසය වාර්තා කරයි.

කෙසේ වුවද, සිය ආරක්ෂාවත්, වෙළෙ¼දාමත්, දියුණු මානව සම්පතත් හේතුවෙන් මුල සිටම කළුතර වෙත ඉංග්‍රීසි පාලකයන්ගේ අවධානය යොමුව තිබූ බව නම් පෙනෙන්නට තිබේ. මෙය තහවුරු වන්නේ කොළඹින් පිට මෙරට පළමු පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේදී මුල් වටයේම කළුතර කෙරේ ඉංග්‍රීසින්ගේ ඇස යොමු වූ බව පෙනෙන්නට තිබීම හේතුවෙනි. ලංකාවේ පරිපාලනයට වැය වන තම වියදම් අඩුකර ගැනීමට උපක්‍රමයක් සොයමින් සිටි ඉංග්‍රීසින් 1923දී ස්වදේශිකයන් පාලන කටයුතු සඳහා හවුල් කිරීම ඉදිරියට දමමින් මෙරට පළාත් පාලන ක්‍රමය හ¾දුන්වා දීමට ක්‍රියාකළහ. ඒ අනුව කොළඹින් පිට මුල්ම පළාත් පාලන ආයතන අට මීගමුව, කළුතර, රත්නපුර, යාපනය, මාතලේ, මාතර, පානදුර හා හලාවත නගරවල ස්ථාපිත කිරීමට ඔවුහු කටයුතු කළහ.

තමන්ටම වූ පළාත් පාලන ආයතනයක් පවත්වාගෙන යෑම සඳහා දියුණු පුරවැසියන් සිටින්නේද යන්නත්, තමන්ගේම වූ පළාත් පාලන ආයතනයක් නඩත්තු කරගෙන යෑම සඳහා එම පුරවැසියන් ආර්ථික අතින් පොහොසත්ද යන්නත් මෙම පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට නගර තෝරාගැනීමේදී සලකා බලා තිබුණ කරුණු විය.

මීගමුව, රත්නපුර, යාපනය, මාතලේ හා මාතර නගර සභා පසුව මහ නගර සභා බවට උසස් කළ අතර අද කළුතරද එම ගොන්නට එක්ව තිබේ.

වසර සියයකට ඉහතදී නගර සභාවක් ලෙස ස්ථාපිත වූ කළුතර නගර සභාව, මහ නගර සභාවක් බවට පත් වන්නට මේ වනවිට සියලු කටයුතු සූදානම්ය. පෙර සඳහන් කළ ලෙස ඊට අදාළ ගැසට් පත්‍රයද මේ වනවිට නිකුත්ව තිබේ. මෙය කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන කළුතර ජනතාව ලද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වනු නොඅනුමානය.

කළුතර නගර සභාව මහ නගර සභාවක් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ, ඒ සඳහා බොහෝ සේ වෙහෙස වූ කළුතර ධර්මවිජය පූර්වාරාමාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, මහචාර්ය නෙළුවේ සුමනවංස නාහිමියෝ මෙසේ පැවැසූහ. “කළුතර නගර සභාව එදා ඉංග්‍රීසි පාලන සමයේ ඇති කරන ලද නගර සභා අටෙන් එකක්. එය පිහිටුවා වසර සියයක් සම්පූර්ණ වන්නට ආසන්නයි. ඒ සමඟ පිහිටවූ බොහොමයක් නගර සභා මේ වන විට මහ නගර සභා බවට පත් වී තිබෙනවා.

2000 වසරේදී එවකට කළුතර නගරාධිපතිව සිටි නීතිඥ නලින් මහේෂ් පෙරේරා මහතා කළුතර මහ නහර සභාවක් බවට පත්කරන්නට ගෙන ආ යෝජනාවද සම්මත වී වසර විසි දෙකක් පමණ ගත වුවත් විවිධ බාධාවන් නිසා එය අසාර්ථක වුණා. කෙසේ වුවත් මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, නීතිඥ සංගමය හාව්‍යාපාරික ප්‍රජාව අඛණ්ඩව කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය ලැබුවා. මේ සඳහා විශේෂ කැපකිරීමක් කළ ප්‍රදේශයේ එකම දේශපාලනඥයා පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතාට විශේෂ ගෞරවය හා ස්තූතිය හිමි විය යුතුයි”.

කෙසේ වුවද නිර්භයව මැතිවරණ පොරොන්දුවක් ලෙස “කළුතර නගර සභාව මහ නගර සභාවක් කිරීමට මැදිහත් වෙනවා” යන පාඨය සිය ප්‍රචාරක පත්‍රිකාවල සඳහන් කර, සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මෙම සුවිශේෂ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට මැදිහත් වීමක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගෙන්ද අපි අදහස් විමසූයෙමු.

“කළුතර නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීමේ කර්තව්‍යයට මහජන නියෝජිතයකු ලෙසින් මැදිහත් වී සුවිශේෂ කාර්යභාරයක් කිරීමට හැකි වීම ගැන සතුටුයි. ඒ සඳහා පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, විද්වතුන් හා කළුතර පුරවැසි සභාව වසර විසි දෙකක් පුරා මහන්සි වූ බව කිවයුතුයි.

අවසානයේ “කළුතර මහ නගර ජන සභාව” ලෙස අපි සියල්ලම සංවිධාන වී අඛණ්ඩ ව්‍යායාමයක නිරත වූවා. මේ අපි කාගෙත් ඒ ව්‍යායාමයේ සතුටුදායක ප්‍රතිඵලය. මෙම කාරණයට විශාල ලෙස බාධා එල්ල වුණා. ඔබට මම ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. නගර සභාවේ ඒකමතිකව යෝජනා වෙලත් අවුරුදු විස්සක් තිස්සේ මේක ඇදි ඇදී ඒමෙන්ම ඒ බාධාකිරීම් කොයි තරම් ප්‍රබලද කියන එක ඔබට තේරුම් ගත හැකියි.

කළුතර පොදු ජනතාවට ඕන වුණේ පවතින නගර සභාව ජන ඝනත්වය හා වර්තමාන සංවර්ධනය සැලකිල්ලට අරගෙන සීමා පුළුල් කොට මහ නගර සභාවක් බවට උත්ශ්‍රේණි කරගන්න. පවතින සීමා තුළම මහ නගර සභාවක් කිරීමට වරක් දෙවරක් ලෑස්ති වුණත් අපි ඒකට එකඟ වුණේ නෑ. වාසනාවට පසුගිය කාලයේ මට රාජ්‍ය ඇමැතිකමක වගකීමක් තිබුණා. ගරුතර සංඝරත්නය මට උපදෙස් දුන්නෙත් ඇමැතිතුමා ඔය පදවිය මේ කටයුත්ත සඳහා උපරිමයෙන් පාවිච්චි කරගන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ කටයුත්ත හිරවෙන හැම මේසයකදීම ඊළඟ මේසයට මේක තල්ලු කර ගන්න පාවිච්චි කරගත්තෙ ඒ රාජ්‍ය ඇමැති පදවිය තමයි.”

කළුතර නගරය බස්නාහිර පළාතේ ප්‍රධානම නගරයක් ලෙස සංවර්ධනයට ලක්ව ඇති අතර ඉදිරියේදීද සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවෙනු ඇත. ශීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනය නිසාම එහි අවශ්‍යතාද ඒ හා සමානවම ඉහළ ගොස් ඇත. ග්‍රාම නිලධාරි වසම් 16ක්ව තිබූ කළුතර නගර සභාව මේ වනවිට තවත් ග්‍රාම නිලධාරි වසම් 18ක් හා එක්ව අද වනවිට වසම් 34ක මහ නගර සභාවක් බවට පත්ව ඇත. ඒ සඳහා ලිපි ලියූ, පෙත්සම් සෑදූ, සංවිධාන වූ, සාකච්ඡා සඳහා සහභාගි වූ කළුතර පුරෝගාමී පුරවැසියනට අද දින ආඩම්බර වීමේ හැකියාව ඇත.

කළුතර නගර සභාව පුළුල් කොට මහ නගර සභාවක් කිරීමේ යෝජනාව මීට වසර විස්සකට පෙර කළුතර නගර සභාවට ඉදිරිපත් කරන ලද්දේත් එය ඒකමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළේත් හිටපු නගරාධිපති නීතිඥ නලින් මහේෂ් පෙරේරා මහතාය. මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අවදි කළ ඔහුගේ හඬයි මේ.

“කළුතර මහ නගර සභාවක් බවට පත් කිරීමේ යෝජනාව 2000 වසරේදී ඒකමතිකව සම්මත කළා. එවිට මම නගරාධිපති. ඒත් මීට විවිධ බාධක එල්ල වුණා. කළුතර ඓතිහාසික සිංහල බෞද්ධ නගරයක්. ඒ වාගේම විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් ඉතාම සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත් වන නගරයක්. ඓතිහාසික බෝධීන් වහන්සේ, කැලිඩෝ වෙරළ තීරය වගේම රජයේ වැඩ ඇමැති චම්ලි ගුණවර්ධන මහතා ඉදිකළ මහාමාර්ග පද්ධතිය අදටත් සුවිශේෂයි. කළුතර නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීමට සහයෝගය දුන් එකම ජනතා නියෝජිතයා ජයන්ත සමරවීර මහතායි.”

වාද්දුව – ජනක හෙට්ටිආරච්චි