සියලුම දේශපාලන පක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟයි

0
11

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එක්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ඊයේ (21දා) පැවැසීය.

මෙම පනත අහෝසි කරන බවට මෙරට රජයන් පොරොන්දු ලබාදී තිබියදීත් පනත ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන්ගේ විරෝධය පළවී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. මෙම පසුබිම හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් උතුර – දකුණ යා කරමින් අස්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයිද හෙතෙම කීවේය.

කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා ක්‍රියාත්මක කරන එම වැඩසටහන යටතේ ගාලුමුව‍ෙදාර උද්ඝෝෂණ ස්ථානයේදී ඊයේ සවස 4.00ට අස්්සන් ලබාගැනීම සිදුකරනු ලැබූ බවද සුමන්දිරන් මහතා පැවැසීය. සිවිල් හා දේශපාලන නියෝජිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

අස්සන් ලබාගැනීමේ ජංගම වැඩසටහනට උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්කවලත්, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්කවලත් මහජනතාවගේ සහාය ලැබුණු බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ