ශ්‍රී ලනිපයේ 6ක් තනතුරුවලින් නෙරපයි

0
33

මධ්‍යම කාරක සභා තීරණයට පිටින් අමාත්‍ය ධුර ලබා ගත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරු 6 දෙනා පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කොට ඇත.

එම මන්ත්‍රිවරු සියලුම දෙනා පක්ෂයේ දැරූ තනතුරු සියල්ලෙන් ඉවත් කෙරුණු බව, පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එම පිරිස ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ ‘මව්බිම’ට පැවැසීය.

ඒ අනුව එම පිරිස දැරූ ආසන සංවිධායක ධුර, මධ්‍යම කාරක සභා තනතුරු ඇතුළු සියලු තනතුරුවලින් ඉවත් කෙරෙන බවද ඔහු කීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දුවට පිටින් ඇමැති ධුර ලබා ගැනීම පක්ෂයේ විනය කඩ කිරීමක් නිසා ව්‍යස්ථාපිතව සභාපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මේ තීරණය ගෙන ඇතැයි පක්ෂයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එම තීරණයට අදාළ ලිපිය කොළඹ ආසන්නයේ වෙසෙන මන්ත්‍රිවරුන්ට ලියාපදිංචි තැපැල් මාර්ගයෙනුත්, දුර බැහැර මන්ත්‍රිවරුන්ට කුරියර් මාර්ගයෙනුත් යොමු කළ බවත් හෙතෙම කීය.

මේ අනුව පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජේ‍යෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, උප සභාපති රංජිත් සියඹලාපිටිය, උපසභාපති චාමර සම්පත් දසනායක හා උප ලේකම්  ජගත් පුෂ්ප කුමාර යන පිරිසට මෙසේ ලිපි මඟින් දැනුම් දීමට කටයුතු කළ බවද ඔහු පැවැසීය.

එමෙන්ම හැකි ඉක්මනින් පක්ෂයේ ප්‍රධාන ධුරවල හා ආසන සංවිධායක ධුරවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ‘මව්බිම’ට පැවැසීය.

ඉදිරියේදී පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු දැනුවත් කිරීමටද සැලසුම් කොට ඇතැයිද හෙතෙම තවදුරටත් කීය.

සවනි ශේශාධි