ශ්‍රී  ලංකාව පළමුවැනිදා තරග බිමට

0
3

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් නිල වශයෙන් නිවේදනය කර තිබිණි. එම තරග කාලසටහනට අනුව එළැඹෙන ඔක්තෝබර් මස පළමුවැනිදා ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, එය ඔක්තෝබර් 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ඒ අනුව බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 තරගාවලියේ සමාරම්භක දිනයේදී සත්කාරක බංග්ලාදේශයත්, තායිලන්තයත් තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර, ඉදින පස්වරු 1.30ට ශ්‍රී  ලංකාව සහ ඉන්දියාව තරග බිමට පිවිසෙනු ඇත. එසේම ඔක්තෝබර් මස 2 දා ශ්‍රී  ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය.

එසේම මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී  ලංකාව සහභාගි වන තෙවැනි තරගය ඔක්තෝබර් මස 4 වැනිදා පැවැත්වෙන්නේ තායිලන්ත කණ්ඩායම සමඟිනි. එසේම ඔක්තෝබර් මස 8 වැනිදා ශ්‍රී  ලංකාව සහ මලයාසියාවත්, 10 වැනිදා ශ්‍රී  ලංකාව සහ බංග්ලාදේශයත් 11 වැනිදා ශ්‍රී  ලංකාව සහ පාකිස්තානයත් තරග වදිනු ඇත.

මෙම තරගාවලියේ මූලික වටයේ නිමාවෙන් අනතුරුව ඔක්තෝබර් මස 13 වැනිදා අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 15 වැනිදාය.

මේ අතර මෙම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී  ලංකා කාන්තා සංචිතය ක්‍රිකට් ආයතනය මගින් නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

චමිරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව ඇත.

ශ්‍රී  ලංකා  කාන්තා සංචිතය _ චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යාංගනා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රෂ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කෞෂල්‍යා, තාරිකා සෙව්වන්දි.

ගමිත දෙහිපිටිය