විශේෂඥ වෛද්‍යවරු 300ක් එකම දිනයකදී විශ්‍රාම යති

0
57

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ලබන දෙසැම්බර් 31 දායින් පසු විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙක් පමණ විශ්‍රාම යන බවත් මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එක් දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් විශ්‍රාම ගන්නා දිනය දෙසැම්බර් 31 වැනිදා වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වේ.

ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 30ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 17ක්, ළමා රෝහලේ 15ක් හා අපේක්ෂා රෝහලේ 9 දෙනෙක්ද දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගන්නා බවද එහි සඳහන් වේ.

මේ අතර මෙරට සේවය කරන ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දායක වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 33 දෙනාගෙන් 08 දෙනකු 31 වැනිදා විශ්‍රාම ගන්නා බවද වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ නිවේදනයේ දැක්වේ. මෙයින් දෙදෙනකු මේ වනවිටත් විශ්‍රාම ගොස් ඇති බවත් පස් දෙනකු විදේශගත වී ඇති බවත් එහි සඳහන් වේ. තවත් දෙදෙනකු විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් අවසානයේ ඉතිරිවන්නේ පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙක් පමණකැයිද එහි සඳහන්ව තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණදෙන අර්බුදයේ ප්‍රමාණය පෙන්වා දෙන හොඳම උදාහරණය අපේක්ෂා රෝහලේ ඇටමිදුලු සැත්කම් බවත් එහි මේ වනවිට දින ලබා දෙන්නේ 2025 වසරේ සැත්කම් සඳහා බව එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.

විනීතා එම්. ගමගේ