විවාහ මංගල්ලෙට ඇවිත් යකා නැටූ දස දෙනාට ඇප

0
7

පානදුර ප්‍රදේශයේ සුපිරි  හෝටලයක පැවැතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපළවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයන් දසදෙනකු එක් එක් සැකකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙක බැගින් මුදාහරින ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා 20 දින  නියෝග කළේය.

සිය සේවාදායකයන් දසදෙනා එදින හෝටලයට පැමිණ ඇත්තේ ගැටුමක් ඇති කර ගැනීමට නොව විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට බවත්, මෙය සැලසුම් කළ වරදක් නොවන බැවින්  ඔවුන්ට ඇප ලබාදෙන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් ජයරත්න මහතා ඉල්ලා සිටීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.

සැකකරුවන්ගේ පදිංචිය  සනාථ කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ පානදුර දකුණ පොලිසියට වාර්තා කරන ලෙසත්,  පැමිණිල්ල ගොනුකරන ලෙසත් වැඩිදුරටත් නියම කළේය. පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් ඇප ලබාදීමට විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලූක එම්. සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පහරදීම, අනර්ථයක් සිදුකිරීම, සාපරාධී බලහත්කාරය සහ අයුතු ජනරාශි යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි. පොලිසිය වෙනුවෙන් සැරයන් සුනිල් පතිරණ මහතා පෙනීසිටි අතර නඩුව නොවැම්බර් 4දා යළි කැඳවීමට නියමිතය.

පොතුපිටිය – සුමිත් රණවක