වනජීවියේ දීමනා නොගෙව්වොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා

0
5

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට හා ක්ෂේත්‍ර සහායකයන් හට නිසි පරිදි දිරි දීමනා සහ අතිකාල නොගෙවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. අයි. ඩබ්ලිව්. පීරිස් පැවැසීය.

ඉකුත් 20 දින බොරලැස්ගමුව සණස මන්දිර ශ්‍රවණාගාරයේ පැවැත්වූ එම සංගමයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය. මෙම ක්ෂේත්‍ර නිලධාරීන් මසකට දින 21ක් පැය 24ම සේවය කළ යුතු වුවද ඒ සඳහා අතිරේකව ලැබෙන්නේ රුපියල් 11,500ක පුංචි දිරි දීමනාවක් බව ඔහු පැවැසීය.

මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව පැවැසීමෙන් අනතුරුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ක්ෂේත්‍ර සහායකයන් හට සවස හයෙන් පසු වැඩ කරන්න අතිකාල නොදෙන බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ නිසා තම සංගමයේ සියලු සාමාජිකයන් ලඛන 23දා පටන් උදේ 8.30ත් සවස 4.15ත් අතර පමණක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බව පැවැසූ ඔහු මෙසේද කීය.

 “වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කළත් මෙතෙක් විසඳුමක් නෑ. දැනට රටපුරා පවතින අලි-මිනිස් ගැටුම පාලනය කරන්න ඉන්නේ ක්ෂේත්‍ර නිලධාරීන් දහසක පමණ පිරිසක් පමණයි. එසේ තිබියදීත් වසරකට අලි 250ක් පමණ හා මිනිස් ජීවිත 100ක් පමණ අහිමි වෙනවා.

ඒ අතර ක්ෂේත්‍ර නිලධාරීන් රාත්‍රි සේවයේ නොයෙදුනහොත් තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකියි. ඒ වගේම වන ජීවීන් හා ගහ කොළ විනාශ වීමටත් ඉඩ තියෙනවා.”

දෙහිවල  – විද්‍යාන් පතිරණ