වතුර නැතිව අලි ගමට තෙල් නැතිව වනජීවිය ගෙදර

0
6

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් යළි වන අලි උවදුරු වාර්තාවීමත් සමඟ ගැටලු රැසක් නිර්මාණය වෙමින් පවතින බව ගොවි සංවිධාන පවසයි.

රාත්‍රි කාලයේ ගම් වදින වල් අලි සිය වගා භූමි විනාශ කරමින් සැරිසරන බව ඔවුහු කියා සිටිති.

නියං තත්ත්වය නිසා ජලය සොයා ගම් වදින වන අලි හේතුවෙන් මේ වන විටත් වගා භූමි රැසකට හානි සිදුව ඇති බව ගොවි සංවිධාන වැඩිදුරටත් කියා සිටියි.

මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකින් වාර්තා වන අලි ගැටලුව සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල රැසකින් කළ විමසීම්වලදී එහි ප්‍රකාශකයන් කිහිපදෙනකුම පැවැසුවේ වන අලි පලවා හැරීමේ මෙහෙයුම් සඳහා සිය රථ වාහනවලට ලබාදෙන ඉන්ධන කෝටාව අඩු කර ඇති හෙයින් සිය නිලධාරීන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවයි.

ඇතැම් අවස්ථාවලදී වන අලි ගැටලු පවතින ප්‍රදේශවල ගොවි ජනතාව තමන්ට ඉන්ධන ලබාදෙන අවස්ථා පවතින බවද වනජීවී නිලධාරීහු පැවැසූහ.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල _ අඹන වෙල්යායේ ගොවීන් බහුතරයක් පවසන්නේ අලි වැට අක්‍රිය වීම වන අලි ගම්වැදීම සඳහා ප්‍රබලව බලපා ඇති බවයි.

වන අලින් පලවා හැරීම සඳහා ප්‍රමාණවත් අලි වෙඩි තමන්ට නොලැබෙන බවත් වාර්ෂිකව වන අලින් ඇතුළු තවත් වන සතුන් හේතුවෙන් තමන්ට අහිමි වී යන අස්වැන්න ගණනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් අඹන ගොවීහු පවසති.

නාඋල _ අයි.ඒ. කුමාර