රට හදන තැන

0
56

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිළිබඳව ආණ්ඩු පක්‍ෂය ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්. (පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි)

ඇෆ්ලටොක්සින් අඩංගු ත්‍රිපෝෂ පාවිච්චියෙන් වුණු හානියට වග කියන්නේ කවුද? : – රෝහිණී විජේරත්න

“ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් ඇති නිසා නැවත ඒවා එකතු කිරීම සිදු කරන බැවින්, එම ත්‍රිපෝෂ පාවිච්චි කළ මවුවරුන් සහ දරුවන්ට සිදුවී ඇති හානි ගැන වගකියන්නේ කවුදැයි“ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී විජේරත්න සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය.

“පත්තරේක තියෙනවා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කියලා ඔෟෂධ හිඟය උග්‍රයි. රෝගීන් දැන් බෙහෙත් බොන්නේ දවසක් ඇර දවසක් කියලා. මේ වාර්තා බොරුද කියලා මට අහන්න වෙනවා. මොකද මන්දපෝෂණය ගැන මම යුනිසෙෆ් වාර්තාව අරගෙන කතා කළාම එදාම සෞඛ්‍ය ලේකම් ලිපියක් නිකුත් කළා ඒ වාර්තාව බොරු කියලා.

අද තවත් පත්තරයක මුල් පිටුවේ තියෙනවා හම්බන්තොට, සූරියවැව දරුවන්ගෙන් සියයට 80කට මන්දපෝෂණය කියලා. එතකොට අර වාර්තාව බොරු කියනවා නම් මේවත් බොරුද? ඇයි මෙහෙම බොරු පත්තරවල එහෙම නම් දාන්න දෙන්නේ.

අනෙක් කාරණාව අද ජාතික පත්තරයක 06 වැනි පිටුවේ තියෙනවා බෙදාදී ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් කියලා තියෙන්නේ. එම විසකාරකය අඩංගුයි කියලා. ඒ නිසා නැවත මේවා එකතු කරනවා කියලා. එතකොට දැන් මේවා පාවිච්චි කළ දරුවන්ට, මවුවරුන්ට වෙච්ච හානියට වගකියන්නේ කවුද?

දරුවන් මන්දෝෂණයෙන් පෙළෙනවා කියන එක තව උදාහරණයක් තමයි ජයවර්ධනපුර කලාප අධ්‍යක්‍ෂවරිය කියලා තියෙනවා දරුවෝ බත් එකට මිරිස් කුඩු ඉහගෙන තමයි ගේන්නේ කියලා. එතකොට ජයවර්ධනපුර තත්ත්වය එහෙම නම් ඇමැතිතුමා අපේ ලග්ගල, විල්ගමුවට යනකොට, වලපනේට යනකොට, හම්බන්තොට ආදී දුෂ්කර ප්‍රදේශවලට යනකොට ඒ දරුවන්ගේ තත්ත්වය කොහොමද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න.

මේ සම්බන්ධයෙන් නිසි නියාමනයකින් තොරව බෙදාහැරීම සම්බන්ධයෙන් ඔබ ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?” ත්‍රී පෝෂ ගැන.

මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා හෙළි නොකළොත් ඊට අපේ සහාය නෑ : – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා පාර්ලිමේන්තුවට ලබාදෙන්න. රජය කිව්වට ගිවිසුමක් නෑ කියලා අලි සබි්‍ර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියෙනවා කියලා. ගිවිසුමේ තොරතුරු පාර්ලිමේන්තුවට ලබාදෙන්නේ නැත්නම් අපේ සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.

“ගරු කථානායකතුමනි, පසුගිය සතියේ මම ඉල්ලීමක් කෙරුවා රජයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ඇති කරගෙන ඇති එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මොකද අපි විවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු නැතිව අපිට විවාදයක් කරන්න බෑ. රජය කිව්වට ගිවිසුමක් නෑ කියලා අලි සබි්‍ර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියෙනවා කියලා. ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න.

මොකද පාර්ලිමේන්තුවටයි මුදල් බලය තියෙන්නේ. සියල්ල හංගන්නයි හදන්නේ. 2019 විදේශ විනිමය ඩොලර් මිලියන 7,900ක් තිබ්බා. ඒක ඩොලර් මිලියන 20ට බැස්සා. සංවේදී කිය කියා රහස්‍යභාවය කිය කියා මේ ගිවිසුම හංගන්නයි හදන්නේ. මම පැහැදිලිව කියනවා අපිට පෙන්වන්නේ නැතිව ගිවිසුමක් අස්සන් කළාට අපි ඒක පිළිගන්නේ නෑ. මොකද ගිවිසුම අපට පෙන්වලා අපේ ආශීර්වාදය ඇතිව වැඩ කටයුතු කළොත් රටට හොඳයි.”

“ගරු කථානායකතුමනි, ඔබතුමා ජනාධිපතිතුමන්ට කතා කෙරුවද? එතුමා විපක්ෂයේ මන්ත්‍රිවරයකුව සිටියදී එතුමා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා එදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම සර්වපාක්ෂික සමුළුවේදී ගිවිසුම ඉල්ලුවම බැසිල් රාජපක්ෂ මහතා එදා දෙන්න බෑ කිව්වම එදා වත්මන් ජනාධිපතිතුමා කිව්වා මට නොවේ පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා. ව්‍යවස්ථාව අනුව මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඇත්ත වශයෙන්ම කථානායකතුමා කාගෙන්වත් අහන්න ඕනේ නෑ. නමුත් එතුමාට ගරු කිරීමක් වශයෙන් ඇහුවට කමක් නෑ. ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න. මොකද ඔබතුමා කියනවා නම් ජනාධිපතිතුමාගෙන් අහලා කියන්නම් කියලා ඒක පාර්ලිමේන්තුවට කරන අපහාසයක්.”

“ගරු කථානායකතුමනි, කවදාද අපිට මේ තොරතුරු ලබා දෙන්නේ. ඔබතුමන්ලා මේ ගිවිසුම රටට හංගනවා නම් අපි මේක රටට කියනවා. මොකද රටේ ජනතාව අහනවා තවත් බදු බර වැඩිවෙනවාද කියලා. ඇත්ත වශයෙන්ම මේවා ජනතාවට දරා ගන්න බෑ. ඔබතුමාගේ රාජකාරිය ඔබතුමා පැහැරහැර තොරතුරු ලබා දෙන්නේ නැතිව මේ කටයුතු කරනවා නම් අපේ සහයෝගය බලාපොරොත්තු වෙන්නත් එපා වගකීමත් ඔබතුමන්ලාම ගන්න.”

බිලියන 600ක බදු අහිමිවීමත් රට බංකොලොත් වීමට හේතු වුණා : – හර්ෂණ රාජකරුණා

ඔබ කවුරුත් දන්නවා මංගල සමරවීර යහපාලන රජයේ මුදල් ඇමැතිවරයා හැටියට අලුත් බදු පනතක් ඉදිරිපත් කරලා බදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ බදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉතා සාර්ථකව සිදුවුණා” යැයි සජබ මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පැවැසීය.

සමහරු ප්‍රකාශ කරන්න පුළුවන් යම් බරක් ජනතාවට දරන්න සිදු වුණා කියලා. නමුත් ඔබ දන්නවා අපේ රටේ තිබුණ ණය ප්‍රමාණයත් ඒ වගේම ආපසු ගෙවීම් ප්‍රමාණයත් එක්ක රජයේ ප්‍රධානම ආදායම හැටියට අපිට එය අකැමැත්තෙන් හෝ කරන්න වුණා. හැබැයි මේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් සමඟම බදු ප්‍රතිසංස්කරණ සියල්ලටම චෝදනා එල්ල කරලා එය සම්පූර්ණයෙන් වෙනස් කළා.

කිහිපවතාවක්ම අපි සඳහන් කළා සීනි බදු වංචාව. මේ සීනි බදු වංචාවෙන් බිලියන 15කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වුණා. රුපියල් 50ට තිබුණු සීනි බද්ද සත 25ට අඩු කළා.

ඒ විතරක් නෙවෙයි අපේ යහපාලන රජය කාල සීමාවේ සීනිවලින් නිෂ්පාදනය කළ විශේෂයෙන්ම බීම වර්ගවලට බද්දක් අය කළා. ප්‍රධාන අරමුණ වුණේ සීනි පරිභෝජනය යම්තාක් දුරට අඩු කරන්න. මොකද දියවැඩියාව නිසා සීනි පරිභෝජනය අවම කිරීමට. ඒකත් සම්පූර්ණයෙන්ම නැති කළා.

මෙන්න මේ විධියට බදු ප්‍රතිපත්තියට වෙනස් කිරීම තුළින් අපිට බිලියන 600කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අහිමි වුණා. ඒ බදු අඩු කිරීමත් එක්කම තමන්ට හිතැති තමන්ගේ ගජමිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනක් වාසි වුණා. උදාහරණයක් තමයි සීනි බදු වංචාව. ඒ විතරක් නෙවෙයි වෙන වෙන ක්‍ෂේත්‍රවලට බදු සහන සපයලා ඒ අය තමන්ගේ මැතිවරණයේදී උපරිම සහයෝගය ලබාදෙන ආකාරයෙන් සහයෝගය ලබාදීලා ඒ මැතිවරණ පොරොන්දුවක් විධියට නොකියපු පොරොන්දුවක් විධියට තමයි මේ බදු මුදල් ඒ ඒ අංශ ඒ ඒ ක්‍ෂේත්‍රවලින් අයින් කළේ.

බිලියන 600ක ප්‍රමාණයක් අහිමි වීමක් තුළින් අපිට අපේ ණය ගෙවාගන්න බැරි මට්ටමට පත් වුණා. ඒකෙන් වුණේ මේ රට බංකොලොත් තත්ත්වයට පත්වීමයි.

වංචා-දූෂණ අඩු නොකළොත් රට අභාවයට යෑම වළක්වන්න බෑ : – ධර්මලිංගම් සිද්ධාර්ථන්

“අපි මේ පාර්ලිමේන්තුවේ බදු වැඩි කිරීම ගැන  කතා කරනවා. ඒත් මේ බදු සමඟ අල්ලස, දූෂණය බහුලව සිදු වෙනවා. ඒක වළක්වන්නේ කෙසේද? වංචනිකයන්ට  දඬුවම් ලබා දෙන්නේ කෙසේද? ඒවාට දඬුවම් දැඩි වුණොත් තමයි මේ වැරදි සහ අපරාධ අඩුකරන්න පුළුවන් වෙන්නෙ. වංචා දූෂණ අඩු නොකෙරුවොත්, මේක දිගින් දිගටම වුණොත් රට අගාධයට ඇද වැටීම නවත්වන්න බැහැ. දැනට බංකොලොත් රටක් හැටියට තමයි ජාත්‍යන්තරය අපිව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රිවරයා පැවැසීය.

විශේෂයෙන්ම ආරක්ෂක වැය ශීර්ෂය ගැන කතා කළොත් පශ්චාත් යුද තත්ත්වයටත් එලෙසම මුදල් වෙන් කරනවා. මෙම ආරක්ෂක මූල්‍ය ප්‍රතිපාදන අද කොහොමද පාවිච්චි වෙන්නේ කියා සොයා බැලිය යුතුයි. ඒ වගේම තවත් කාරණාවක් වෙනවා. ඒ උතුර – නැඟෙනහිර ප්‍රදේශවල හින්දු කෝවිල් ආශ්‍රිත ප්‍රදේශවල වන අකටයුතුකම්.

ඒ කෝවිල් ඇත්තටම පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව යටතට පැවරීම විතරක් නෙමෙයි.  පංච ඊශ්වර කොවිල්වලින් එකක් වන කෝනේෂ්වරන් කෝවිල ප්‍රදේශය සංචාරක ප්‍රදේශයක්. ඒ කෝනේෂ්වරන් කෝවිලේ පාරිශුද්ධත්වය නැති කරන්න කටයුතු කරමින් තිබෙනවා. මේක සංචාරක පාරිශුද්ධභාවය විනාශ කරනවා පමණක්  නොවේ  ඒ සඳහා වෙන්කර තිබෙන අක්කර 18ක් ඩැහැ ගන්නා දේත් සිදුවෙනවා. වහාම මේක නවත්තන්න ඕනැ.

ඒක පූජා භූමියක් හැටියට ප්‍රකාශයට පත් කරන්න ඕනේ. එදා 1965 තමයි පූජා භූමියක් හැටියට පත් කරන්න කියලා  කොමිසමක් පත්කළේ. නමුත් මේ කොමිසමත් අහෝසි කළා. මා ඉල්ලා සිටින්නේ මෙවැනි ස්ථානවල පාරිශූද්ධත්වය නැති කරන්න එපා කියලා.

කියපු නැති ප්‍රකාශයක් ‘මව්බිම’ වෙබ් අඩවියේ පළකිරීම නිසා මන්ත්‍රි වරප්‍රසාද කඩවෙලා : – මධුර විතානගේ

පසුගිය සැප්තැම්බර් 13 වැනි දින මා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු නැති ප්‍රකාශයකට සිරස්තලයක් දාලා ‘මව්බිම.lk’ කියන වෙබ් අඩවිය ප්‍රචාරයක් කර ඇති බවත් ඒ ප්‍රචාරය තුළින් විශාල සමාජ වෛරයක් ඇතිව මේ වන විට ඒ සම්බන්ධයෙන් තමාට තර්ජන පවා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පැවැසීය.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට තියෙන බලතල යටතේ මාගේ වරප්‍රසාද කඩවීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද අද වන විට මෙවැනි සිරස්තල යොදලා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මම දැකලා තියෙනවා නොකියපු ප්‍රකාශ තමන්ගේ වෙබ් අඩවි තමන්ගේ ෆේස්බුක් ගිණුම් ප්‍රවර්ධනයට දාලා වෛරය වපුරවන්න වැඩ කරනවා.

විශේෂයෙන්ම පුවත්පත් ආයතන සහ රූපවාහිනි ආයතන විසින් තමන්ගේ වෙබ් අඩවි තුළින් මේ කාරණාව කරනවා. මේ තුළින් මට විශාල පීඩනයක් ඇති වෙලා. මේ වෙබි අඩවියේ සිරස්තලයේ දාලා තිබුණේ ‘ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය පිටුපස ඇත්තේ නාමල් රාජපක්ෂයි’ කියලා. මගේ ප්‍රකාශයේ කිසිම වෙලාවක එහෙම නැහැ. මම කිව්වේ ‘පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයට පමණක් නෙවෙයි ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන් දේශපාලනය මැදිහත් වෙන්නේ නැතිව අපි ඒ වැඩකටයුතු කරන්න ඕනෑ. ඒක තමයි අපේ රටට වෙන්න ඕනෙ. ආසියානු කුසලානය ජය ගත්තේ ක්‍රීඩා කණ්ඩායමේ ශක්තිය, ධෛර්ය හා කැපවිම මත කියලා. ඒ ප්‍රකාශය විකෘති කරලා මේ විධියට පළ කර තිබෙනවා.

දැන් වෙනකොට මිලියන ගාණක් බලලා තියෙනවා මේ ප්‍රකාශය. ඉතින් මේකෙන් බරපතළ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විධියට අපි කරන ප්‍රකාශ ඒ විධියට වාර්තා කිරීමේ කිසිම බාධාවක් නැහැ. අපි කැමැතියි අපි කියන ප්‍රකාශ ඒ විධියට ප්‍රකාශ කරනවාට. අපි ඒ ගෞරවය මාධ්‍ය ආයතනවලට ලබා දෙනවා. නමුත් අපි කියන ප්‍රකාශ විකෘති කරලා තමන්ගේ වෙබ් අඩවිවලට ආකර්ෂණය ගන්න, වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන්න, වෙබ් අඩවිවලින් වැඩිපුර ඩොලර් අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න විකෘති සිරස්තල යොදනවා නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරලා මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

එදා බදු අඩු කිරීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක් : – ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න

සුරාබදු, රේගු සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව එක පාලන ක්‍රමයක් යටතට ගෙන ආ යුතුව ඇතැයි ශ්‍රී  ලංකා  පොදුජන පෙරමුණ මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පැවැසීය.

 “බලයට පත් පත්වූ රජය පෞද්ගලික අංශයට සහනයක් ලබාදීම සඳහා බදු සංශෝධනය කළා. කර්මාන්තකරුවන්ට මෙන්ම නිෂ්පාදකයන්ට යම්කිසි උත්තේජනයක් ලබාදීම මෙහි අරමුණ වුණා. මේ සඳහා යෝජනා කළ බොහෝ බදු යෝජනා පිටිවහලක් වුණා. නමුත් ඊට ගැළපෙන ආකාරයේ සංවර්ධනයක් රටේ ඇති වුණේ නැහැ. මේ නිසා රටේ ආදායම පහළ ගොස් ආර්ථික වශයෙන් අර්බුදයක් ඇති ඇතිව තිබෙනවා. අද ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ එදා බදු අඩු කිරීමයි.

එවකට සිටි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සේවාවන් ලබාදීමෙන් අපට ලබාගත හැකිව තිබූ  මිලියන 500ක පමණ ආදායමක් අහිමි වූ බවයි.

එදා ඉවත් කළ සමහර බදු මෙන්ම සංශෝධනය කළ බදු නැවත ගෙන එන්නට සිදු වී තිබෙනවා. වැට් බද්ද නැවත ගෙන ආවා. ආදායම් බදු වැඩිකර ඉදිරි කාලයේදී අපට අවශ්‍ය මුදල් නීත්‍යනුකූලව ලබා ගත යුතුව තිබෙනවා. මෙහිදී ගජ මිතුරන්ට උදවු කළා යැයි සමහරු චෝදනා කළා. නමුත් ඇත්ත එය නොවේ. ඒ වෙලාවේ නිෂ්පාදනවල යෙදෙන අයට උහුලන්න බැරි බරක්  බදුවලින් පැනවී තිබූ බවට මතයක් තිබුණා. එදා බදු ඉවත් කිරීමට හේතු වූයේ ඒ බර හෑල්ලු කිරීමයි.

මේ බදු අඩුකිරීම නිසා රාජ්‍ය ආදායම ගොඩක් අඩු වුණා. අද මුහුණදෙන ආර්ථික අපහසුතාවලට විස¾දුම් වශයෙන් බදු අලුතෙන් වෙනස් කරන්න මෙන්ම එදා අඩු කළ බදු නැවත අය කරගන්නත් අලුතින් බදු අය කර ගත හැකි අංශ හ¾දුනාගන්නත් අවශ්‍යව තිබෙනවා.

එසේම රාජ්‍ය වියදම් අඩු කර ගත යුතුව තිබෙනවා. එමෙන්ම ඵලදායි  නොවන ව්‍යාපෘති සඳහා වියදම් නොකළ යුතුව තිබෙනවා. සුරාබදු, රේගු සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව එක පාලන ක්‍රමයක් යටතට ගෙන ආ යුතුයි.”

උත්තරීතර සිවුරු දාගත්ත ඇතැම් හාමුදුරුවරුන්ට මාව වට්ටන්න බෑ ; – ඩයනා ගමගේ

“උත්තරීතර සිවුර දාගත්ත සමහර හාමුදුරුවෝ අපිට  නිගා කරනවා. ඒකෙන්  මාව වට්ටන්න බැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මන්ත්‍රිනි ඩයනා ගමගේ පැවැසුවාය.

“සංස්කෘතියට පටහැනි දේවල් මං කියනවා කියලා කියනවා. ඔව් සමහර ඒව සංස්කෘතියට පටහැනියි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතියට එහා ගිය සංස්කෘතියක් තියෙන රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඉන් ඔබ්බට ගිහින් හිතපු නිසයි. අවුරුදු දෙදහස් පන්සියයක් ගැන, රටක සංස්කෘතිය ගැන කතා කරලා එක තැන පල් වන රටක් වෙලා. මේ හණමිටි අදහස් ඉදිරියට තියාගෙන ඇවිත් තියෙනවා කියලා මම බය නැතුව කියනවා. හැමදාම මේ රටේ මොකක් හරි දියුණු කරන්න හදපු ගමන් සංස්කෘතිය ඉස්සරහට දාගන්නවා. ආගම පටලනවා.

අපිට ආගම අවශ්‍යයි. බුද්ධාගම අපේ ධර්මය. නමුත් ගොඩක් මිනිස්සු බුද්ධාගම ගැන කිව්වට  ධර්මය මොකක්ද කියලා දන්නේ නැහැ. කියන්න කනගාටුයි, අපිට පේනවා උත්තරීතර සිවුරක් දාගත්ත සමහර හාමුදුරුවෝ කාන්තාවන්ට නිගා කරන විදිහ. ඒකෙන්  මාව වට්ටන්න බැහැ. මගේ ගමන නවතන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මගේ ගමන යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන්.

ඒ නිසා මට මඩ ගැහුවට කමක් නෑ. මම බය නැහැ. මම ටෙනිස් බෝලයක් වගේ උඩට එන චරිතයක්. මේ රටේ ගොඩක් කාන්තාවන් විදේශ රටවල්වලට   ගණිකා වෘත්තියට දාලා. ලැජ්ජයි කියන්න. පහුගිය කාලයේ ආණ්ඩු කීයක් ආවද?  අපේ කාන්තාවෝ අද ශ්‍රමිකයෝ හැටියට රටවල්වලට යැවීම ගැන ලැජ්ජා වෙන්න ඕනේ.

ඇයි ඒ කාන්තාවන්ට ඒ තැනට පත්වෙන්න ඉඩ දුන්නේ. අපි දැනගන්න ඕනි  කාන්තාවන් සවිබල ගන්වලා රැකියා දෙන්න. රටකට බදු නැතුව දුවන්න බැහැ. ලෝකෙ කිසිම රටක් බදු නැතුව දුවන්නේ නෑ. බදු ගහන්න ඕන. හැබැයි දුප්පත් මිනිහගෙන් බදු ගහන එක නෙමෙයි වැඩේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිව්වා වගේ මොන තරම් බදු නොගෙවන බිස්නස්කාරයෝ ඉන්නවද?

ඒ වගේම තමයි මම කියන්න කැමැතියි සංස්කෘතිය නෙවෙයි කංසා කියන්නෙ. කංසා කියන්නෙ මේ පාරවල් දිගේ බිබී ඇවිදින එකක් නෙමෙයි. ඕනෑම දෙයක්  මත්ද්‍රව්‍යක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මං කතා කරන්නේ මේ රටට ගේන විදේශ විනිමය ගැන. මේ රට කොච්චර විදේශ විනිමයක් ගෙන්න පුළුවන් රටක්ද. අපි මේ කතා කරන්නේ වෙනස් දේවල් ටිකක්. මම කතාකරන්නේ Therapeutic Meditation කර්මාන්ත ගැන. කොච්චර කර්මාන්ත බිහි කරන්න පුළුවන්ද මේ ශාකයෙන්. මේක නීත්‍යනුකූල ශාකයක්.”

උපුල් රෝහණ කර ඇති ප්‍රකාශයේ විද්‍යාත්මක පදනම සොයා බලනවා : – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

 “මම යුනිසෙෆ් කණ්ඩායම කාර්යාලයට කතා කරලා ඒ අය එවැනි ප්‍රකාශයක් කළේ ඇයි කියලා අහපුවම ඒ අය කනගාටුව ප්‍රකාශ කළා. අවාසනාවට අපි කියන දේ නෙවෙයි සමහර වෙලාවට මාධ්‍යයේ වැටෙන්නේ. ඉතින් ඒක මාධ්‍යයේ නිදහස කියලා අපි අර්ථකථනය කරනවා. ඕන දෙයක් දාලා අවසානයේ හෙඩ් ලයින් එක ගහලා 06 වැනි පිටුවේ කොනක දාන්න පුළුවන් කනගාටුව ප්‍රකාශ කරනවා කියලා. එතකොට කතාව ඉවරයි. කොනේ ගිනිපෙට්ටියක සයිස් එක ඔබතුමිය කියවෙන්නේ නැතිව ඇති.

ඔය ප්‍රශ්නය සම්බන්ධව ඊයේ සවසම මම කතා කළා. අමූලික බොරුවක් කියලා වගකීමක් ඇතිව මේ පාර්ලිමේන්තුවේදී මම කියනවා. මොකද හේතුව, මේ ප්‍රශ්නය සම්බන්ධව සම්බන්ධ වෙලා තියෙන අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අද උදේත්, ඊයේ රෑ 11 කතා කරලාත් ලේකම්තුමාට කිව්වා. මොකද මේක හරි අසාධාරණ  කතාවක්. පිළිකාකාරක තියෙනවා කියලා සමාජයක් බය ගන්වන්න ඉතාමත්ම නින්දිත ආකාරයෙන් කටයුතු කරනවා.

උදාහරණයක් විධියට ගත්තොත් බදුල්ලේ වෛද්‍යවරයෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කළා මෙන්න මේවා නෑ. මේ නිසා ශල්‍යකර්ම නතර වෙලා තියෙනවා කියලා. හැබැයි අධ්‍යක්‍ෂතුමා ලිඛිතව එවලා තියෙනවා මේ සියල්ල තියෙනවා කියලා. ඉතින් මේක සංවිධානාත්මක ලෙස දේශපාලන වැඩපිළිවෙළකට පරිවර්තනය කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න මම පසුබට වෙන්නේ නැහැ.

ත්‍රිපෝෂ සම්බන්ධයෙන් අඩුවක් තිබුණා. මිරිස් කුඩු කතාවත්, බුද්ධ පූජාව කෑවා කියලා කතාවක් ගියානේ. එතකොට දරුවෝ හතළිස් තුන් ලක්‍ෂයක් ඉන්නකොට එක දරුවකුගේ වෙන්න ඇති සමහරක් විට ඒක. එහෙම නොවී තියෙන්න බැහැ. එක සිදුවීමක් අරගෙන පත්තරේ ගහනවා. මුළු බුද්ධ පූජාවම කනවා හැම පන්සලේම කියලා. මේක අරගෙන අපි ඉඳන් කියනවා බුද්ධ පූජාව කන තැනකට රට වැටිලා තියෙනවා කියලා. ඉතින් මේ අසාධාරණය කරන්න එපා.

ප්‍රශ්න නැතිව නෙවෙයි. හැබැයි ප්‍රශ්නවල පරිමාණය ඔය කියන විධියට බොහොම පැහැදිලිව කියන්න ඕන ඉතාමත්ම අව ප්‍රමාණයක තියෙන්නේ.

උපුල් රෝහණ කර ඇති ප්‍රකාශයේ විද්‍යාත්මක පදනම කුමක්ද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒකට උත්තරය ලැබුණම මම පාර්ලිමේන්තුවට දන්වන්නම්.”

අලුතෙන් හිතන්න පටන් ගත්තොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන් ; – උදය ගම්මන්පිල

අර්බුද අවස්ථාවේ අපි ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඉදිරියේ අමාරුයි කියලා දේශනා පවත්වලා හරියන්නේ නැහැ. අපි කැපකිරීම් කරන්න ලෑස්තියි කියන එක  කතාවෙන් නෙමේ ක්‍රියාවෙන්, ආදර්ශයෙන් ජනතාවට පෙන්නන්න ඕන.

 රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලොකු සංවාදයක් අද රටේ තියෙනවා. මට රාජ්‍ය ආයතනයක එක්ක දීර්ඝකාලීන අත්දැකීම් තියෙනවා.

රාජ්‍ය  අංශයේ  තත්ත්වය, අපි ඇත්තම කතා කරමු. ඇමැතිවරයාගේ සිට සුළු සේවකයා දක්වා හැමෝම කල්පනා කරන්නේ මේ ආයතනයෙන් මට මොකක්ද වෙන වාසිය මිසක් මට මොකක්ද මේ ආයතනයට කළ හැක්කේ කියන එක නෙමෙයි. පත්වීම් ලබා දෙද්දී දක්ෂයාට වඩා තනතුර  ලැබෙන්නෙ හිතවතාට, ටෙන්ඩර් ලබාදෙන්නේ හොඳම සැපයුම්කරුවාට වඩා හිතවතාට, මෙන්න මේ දුර්වලතා නිසා තමයි රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයත් එක්ක තරගකාරීව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නත් ඒ හා තරගකාරී ව්‍යාපාර ලාභ ලබන්නත් හේතුවක් නැහැනේ.

 රාජ්‍ය ව්‍යාපාර  ප්‍රතිව්‍යුහගතකරණය කිව්ව ගමන් බොහෝ දෙනෙක් හිතනවා මේවා පෞද්ගලික අංශයට සියයට සීයක් දෙනවා විදේශිකයන්ට විකුණන්න යනවා කියලා.

 විකල්ප ගණනාවක් තියෙනවා. මං කැමැතියි ඒ විකල්ප මොනාද කියලා අවධානය යොමු කරන්න. අපට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි Management Buyout. තමන්ගේ ආයතනය පෞද්ගලික අංශයට දෙනවට විරුද්ධ නම් සේවකයන් සහ කළමනාකරුවන් එකතුවෙලා ඒ ව්‍යාපාරයේ යම් ප්‍රතිශතයක් මිලදී අරගෙන කළමනාකරණය භාරගන්නවා.  ඒක අද ලෝකෙ පුරා වෙන දෙයක්.

දෙවැනි කාරණය තමයි ටෙලිකොම් එක, ශ්‍රී  ලන්කන් එයාර්ලයින්ස් දුන්න ආකාරයට යම් කොටස් ප්‍රතිශතයක් සමඟ කළමනාකරණය පෞද්ගලික අංශයට භාර දෙනවා.  ඇත්තෙන්ම Public Private Partnership නැත්තම් රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර කියන්නේ මේක.

 ඒ වගේම තවත් සමහර ව්‍යාපාර තියෙනවා සියයට සියයක් පෞද්ගලික අංශයට විකුණන්න සිද්ධ වෙනවා. ඒවට යම් විරෝධයක් තියෙනවා නම් මේවා අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගාව තියෙන්න ඕන නම්, අපට ඒකට විකල්පයක් තියෙනවා. ආණ්ඩුවට පුළුවන් ව්‍යාපාර යළි මිලදී ගැනීමේ අරමුදලක් හදන්න.

එතකොට ඒ ව්‍යාපාර නියමිත කාලය අවසන් වුණහම ශුද්ධ වත්කම්වල වටිනාකමට නැවතත් ආණ්ඩුවට එය අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අමාරු කාලෙ නියඟය ආවාම ගස්වල කොළ හැලෙනවා. ආයෙත් වස්සාන කාලයේදී ගස්වල දලු දාලා හැදෙනවා. ඒ වගේ ආණ්ඩුවට බැරි වුණහම විකුණනවා, හැකියාව තියෙන දවසට යළි මිලදී ගැනීමේ එකඟතාවයෙන්.

 ඒ වගේ අපිට විකල්ප ගණනාවක් තියෙනවා. වැදගත් වෙන්නේ ආණ්ඩුවත් සමස්ත ජාතියක් අලුතෙන් හිතන්න පටන් ගන්න ඕනේ. එවිට අපිට මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි