යුද හමුදාවේ ක්‍රීඩා විරුවන්ට සුබ පැතුම් සමඟ උසස්වීම්

0
12

ආසියානු කුසලාන ශූරතාව  ජයග්‍රහණය කළ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක එම්.එම්. තීක්ෂණ මෙන්ම ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී  ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ටී.ටී. අල්ගම, කේ.බී.වයි. ද සිල්වා හා  එම්.ඒ.අයි.ජේ. පෙරේරා යන යුද හමුදාව නියෝජන කරන ක්‍රීඩකයන් හට උසස්වීම් දීමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් දී තිබේ.

එසේම ආසියානු කායවර්ධන ශූරතාවලියෙහි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂටද උසස්වීම් ලබාදීමට හමුදාපතිවරයා උපදෙස් දී ඇත. මෙම යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් දෙන ලෙස යුද්ධ හමුදාපතිවරයා මෙලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්ෂණ

සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී. අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් දී ඇතැයි යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ තවදුරටත් ඇගයීමට ලක්කරමින් මෙම ක්‍රීඩකයන් යුද හමුදා මූලස්ථානය වෙත කැඳවා ඇගයීමට ලක්කර ඇති අතර යුද්ධ හමුදාපතිවරයා විසින් සැරයන් එම්.එම්. තීක්ෂණ,

දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සහ කායවර්ධන ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කළ අතර ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් හමුදාපතිවරයා  සුබපැතුම්ද එක්කොට තිබේ.

මෙම අවස්ථාවට ආරක්ෂක සේනා ආඥාපති – මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බි්‍රගේඩියර් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ද එක්වූහ.

චාමර අමරසූරිය