මේජර්වරයා වහාම පදවිය පොලිසියට භාර දෙන්නැයි බටලන්ද අණදෙන නිලධාරියාට නියෝග

0
17

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලය යටතේ පාලනය වන පදවිය ජලාශය අසල පිහිටි සංචාරක බංගලාවේ බංගලා භාරකරුට බීමතින් අතින් පයින් සහ කොස්සකින් තදබල ලෙස පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිසිය මඟ හරිමින් පලාගොස් සිටින ශ්‍රී  ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ

මේජර්වරයා වහාම පදවිය පොලිසියට භාරදෙන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් දිසානායක මහතා යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ බටලන්ද කඳවුරේ අණදෙන නිලධාරිවරයාට 21දා නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පදවිය පොලිසියට නියෝග කරනු ලැබීය.

මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ පදවිය වාරිමාර්ග සංචාරක බංගලාවේ බංගලා භාරකරු වන එම්. සමන් කුමාර මහතාට ශ්‍රී  ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ මේජර්වරයකු බීමතින් අතින් පයින් සහ කොස්සකින් තදබල ලෙස පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය බී වාර්තාවක් මඟින් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

බී වාර්තාවක් මඟින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පදවිය පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් අශෝක ධර්මදාස මහතා (33295) කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලය යටතේ පාලනය වන පදවිය ජාලශය අසල පිහිටි සංචාරක බංගලාවට සැකකාර මේජර්වරයා සහ තවත් පිරිමි පුද්ගලයන් සිවුදෙනකු සහ කාන්තාවන් පස්දෙනකු ඉකුත් 17 වැනි දින පැමිණ ඇති බවයි.

එහිදී සැකකරුවන් මත්පැන් සාදයක් පවත්වා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් දැනට කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ සැරයන් ධර්මදාස මහතා ඒ අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වීම නිසා සංචාරක බංගලාවේ ජල මෝටරය ක්‍රියාත්මක කරවා ගැනීම මඳ වේලාවක් ප්‍රමාදවී ඇති බවද කීවේය.

සංචාරක බංගලාවේ ජල සැපයුමද මඳ වේලාවකට ඇනහිට ඇති බවද අධිකරණයට අවධාරණය කළ සැරයන්වරයා සැකකාර මේජර්වරයා බංගලා භාරකරුට බැනවැදී පසුව කොස්සකින් සහ අතින් පයින් පහරදී ඇති බවද සඳහන් කළේය. පහරදෙන අවස්ථාවේ සැකකාර මේජර්වරයා බීමත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයිද හෙතෙම කීය.

මෙම පහරදීමෙන් පසු සැකකාර මේජර්වරයා සහ ඔහු සමඟ සිටි සෙසු පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අධිකරණයට සැල කළ සැරයන් ධර්මදාස මහතා සැකකාර මේජර්වරයාගේ පහර කෑමට ලක්ව සිටින බංගලා භාරකරු වන එම්. සමන් කුමාර යන අය මුලින්ම පදවිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇත.

ඔහු මේ වන විටත් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කීවේය. මෙම පහරදීම කර ඇති බව කියන සැකකරු මැදවච්චිය ඒ නවය මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය ඉදිරිපිට ශ්‍රී  ලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ මේජර්වරයකු බවද සැරයන්වරයා අධිකරණයට දැක්වීය.

සැකකාර මේජර්වරයා බටලන්ද යුද හමුදා කොමාන්ඩෝ බළකා කඳවුරට ඇතුළත්ව රැකවරණය ලබමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අධිකරණයට සැල කළ සැරයන් ධර්මදාස මහතා පදවිය පොලිසියට පැමිණෙන ලෙසට මේ වන විටත් ඔහුට පොලිස් පණිවුඩ  ඔස්සේ නිල දැනුම්දීමක් කර ඇති නමුත් සැකකාර මේජර්වරයා මෙතෙක් පොලිසියට පැමිණ නැති බවද කියා සිටියේය.

පහරදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇති බවද සඳහන් කළ සැරයන්වරයා ඒ අනුව මෙම සිද්ධිය මහජනයා අතර ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් අයැද සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙන බවද ප්‍රකාශ කළ සැරයන්වරයා සැකකාර මේජර්වරයා පොලිසියට භාරදෙන ලෙස ශ්‍රී  ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ බටලන්ද කඳවුරේ අණදෙන නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද අයැද සිටියේය.

පදවිය පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති සැරයන් අශෝක ධර්මදාස මහතා (33295) සමඟ සැරයන්වරුන් වන කුමාරසිංහ (33909) සහ චන්ද්‍රසිරි (24258) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු කීවේය. කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජය කුමාරසිරි මහතාගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන්

වැඩිදුර විමර්ශන කෙරේ. ඉකුත් 17දා සංචාරක බංගලාවේ පැවැති සාදයට මත්පැන් මදිවීම නිසා යළි මත්පැන් රැගෙන ඒමට පදවිය නගරයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී සැකකාර මේජර්වරයා පැදවූ වෑන් රථය පදවිය ජලාශයේ සොරොව්ව අසල වාරි කණුවක ගැටීමෙන් එම කණුවටද හානි වී ඇති බවත් මේජර්වරයා ඇතුළු පිරිස එදින කලහකාරී ලෙස හැසිරීම නිසා සංචාරක බංගලාවේ දේපළ කිහිපයකට හානි සිදුව ඇති බවත් පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ සහකාර වාරි ඉන්ජිනේරු අනුර ශාන්ත මහතා පැවැසීය.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස