මෙන්න තවත් අනාරක්‍ෂිත කානුවක්

0
5

වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් දිගන කෙන්ගල්ල ජාතික පාසල සහ කෙන්ගල්ල දෙමළ විද්‍යාලය කරා පිවිසෙන මාර්ගයට යාබදව අඩි හතරක් පමණ ගැඹුරු අනාරක්‍ෂිත කානු පද්ධතියක් පිහිටා ඇත.

දිගන කුණ්ඩසාල ඔස්සේ මහනුවර දක්වා දිවෙන මාර්ගයද මෙම කානු පද්ධතිය හා සම්බන්ධව පවතී. වර්ෂාව අධික කාලයට විශාල ජල කඳක් මෙම කානු පද්ධතියෙන් උතුරා යන අතර එය ආසන්නයේ පාසල් ළමයින් සඳහා වූ බස් මගී ආවරණයද පිහිටා තිබේ. ජල බස්නා කානු පද්ධතිය මතුපිටින් ආරක්‍ෂිත කොන්ක්‍රීට් ආවරණයක් නොමැති වීම හේතුවෙන් මේ වනවිට පාසල් ළමයි හා ගුරුවරුද මහත් අපහසුතාවකට මුහුණදී සිටිති.

පාසල් දෙක සඳහා ළමයින් පිවිසෙන්නේද මෙම ස්ථානයෙනි.

මෙම අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් කෙන්ගල්ල ජාතික පාසලේ සංවර්ධන කමිටුවේ මවුපියන් සේම ප්‍රදේශවාසීන්ද, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී කානුවකට ඇද වැටී පාසල් සිසුවකු ජීවිතක්‍ෂයට

පත්වීම වැනි සිදුවීමක් වාර්තා වීමට පෙර කඩිනමින් මෙය පිළිසකර කර දෙන ලෙසයි.

පාසල් සංවර්ධන කමිටුව වත්තේගම අධ්‍යාපන කලාප කාර්යාලය මඟින් මාර්ග සංවර්ධන අධිකාරියට, විදුලිබල මණ්ඩලයට හා ඩෙංගු අවදානම හේතුවෙන් සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් මේ වනවිටත් දැනුවත් කර තිබුණද කිසිදු වගකිවයුතු නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකොට නැති බව මවුපියෝ පවසති.

මැණික්හින්න – ඩී. වන්නිආරච්චි