පොදුජන පෙරමුණු පාක්‍ෂිකයන්ට නිවැරැදි නායකත්වයක් දුනහොත් ජයග්‍රාහී මාවතට නැවත එන්න පුළුවන්

0
11

ඉදිරි මැතිවරණයේදී මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට පත්වන්නේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ බැවින්, තවමත් මේ පක්ෂය සමඟ ඉන්න මිනිසුන්ට නිවැරැදි නායකත්වයක් දුන්නොත් අපට ආයෙමත් ජයග්‍රාහී මාවතට එන්න පුළුවන් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවැසීය.

අභියෝගවලට බය වී දේශපාලනය කරන්න බැරි බවද ඔහු කීවේය.

ඇමැතිවරයා මෙසේ කීවේ ගම්පහ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ 19දා පැවැති පොදුජන පෙරමුණ “ගමින් ගමට” වැඩසටහනේ මිනුවන්ගොඩ ආසනයේ රැස්වීමට සහභාගි වෙමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රිවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ රැස්වීමේදී ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කර සිටියේ කුමන අභියෝග පැමිණියද තමන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අත්හැර නොයන බවයි.

ඉකුත් මැයි මස 9 වැනිදා සිදුවූ කෝලාහලයෙන් තම පාක්ෂිකයන් විවිධාකාර පීඩාවලට පත්ව සමහරු පහර කෑමටත්, තවත් සමහරුන්ගේ මුළු සේසතම ගිනිබත් වූ බව සිහිපත් කළ ප්‍රසන්න රණතුංග, ඒ සිදුවීම්වලට මාස තුනක් ගතවී ඇතත්, ප්‍රහාරයට ලක් වූ අය ගැන පක්ෂය සලකා බැලුවේ නැති බැවින් පාක්ෂිකයන් කලකිරීමකින් සිටින බවත් ඒ වෙලාවේ අපිත් අසරණ වෙලා හිටි නිසා පුළුවන් විධියට පාක්ෂිකයන් ගැන සොයා බැලූ බවත් කීවේය.

ඇමැතිවරයා මෙසේද කීය.

අපි ඔබ තනි කරන්නේ නෑ. ඒ ගැන කිසිම සැකයක් කියා ගන්න එපා.

කුමන්ත්‍රණකරුවන් හරියට හඳුනා ගත නොහැකි වීම අපේ ලොකු දුර්වලතාවක්. 2014දී වගේම 2022දීත් අපිට වැරදුණේ එතැනයි. අපේ අඩුපාඩු නිසා ගම්වල හිටපු අපේ දේශපාලන විරුද්ධවාදීන් සංවිධානය වුණා. පසුගිය කාලෙ වෙච්චි දේවල් නිසා මිනිස්සු දේශපාලනයට එන්න අකැමැතියි. අපේ පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රිවරුනුත් ඉන්නෙ කලකිරීමෙන්. ඒක සාධාරණයි. එදා තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ. අභියෝගවලට බය වෙලා දේශපාලනය කරන්න බැහැ. අපි කොහොම හරි මේ ගේම් එක ප්ලේ කරන්න ඕනෑ. එහෙම නොවුණහොත් අපි පරාදයි.

ඊනියා කුමන්ත්‍රණකාරී අරගලයෙන් වැඩිම හානි වුණේ මගේ මිනුවන්ගොඩ ආසනයටයි. ඒකට හේතුව ශ්‍රී  ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතය තියෙන්නේ මේ ආසනයෙයි. මම තාම ඔබත් සමඟ ඉන්නවා. ඉදිරියටත් එහෙමයි.

තවමත් මිනිස්සු මේ පක්ෂය එක්ක ඉන්නවා. ඒ මිනිසුන්ට නිවැරැදි නායකත්වයක් දුන්නොත් අපිට ආයෙමත් ජයග්‍රාහී මාවතට එන්න පුළුවන්. ඊළඟ මැතිවරණයේදීත් මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට පත් වෙන්නේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණයි. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්නත් එපා. ඒක නිසා දැන් අපි පක්ෂයට බැන බැන ඉඳලා වැඩක් නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් යම් දෙයක් කළා. ඒ කළ දේවල් හරිද? වැරදිද කියල අනාගතය තීරණය කරාවි” යැයිද සඳහන් කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර හා ඒ.ඩී. ජගත් කුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පණ්ඩු බණ්ඩාරනායක මහතා සහ මිනුවන්ගොඩ සහ ගම්පහ ආසනවල පළාත් පාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.