ප්‍රබල ප්‍රතිජීවක එන්නතක් ඉන්දියාවෙන් කුරියර් කරගෙන

0
34

විශේෂඥ වෛද්‍යවරුන් පමණක් රෝගීන්ට නිකුත් කළ යුතු ප්‍රබල ප්‍රතිජීවක (රෙඩ්ලයිට් ඇන්ටිබයිටික්) එන්නත් වර්ගයක් කුරියර් සර්විස් ක්‍රමය හරහා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා බෙදා හැරීම සිදුකළ කොළඹ කොම්පඤ්ඤවිදීයේ පිහිටි කුරියර් සර්විස් ආයතනයක් ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඔෟෂධ පරීක්ෂකවරුන් විසින් වටලා තිබේ.

එම කුරියර් සර්විස් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයාද නීති විරෝධී ලෙස කුරියර් සර්විස් ක්‍රමය හරහා ගෙන්වනු ලැබූ ප්‍රබල ප්‍රතිජීවක එන්නත්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කුරියර් සර්විස් ආයතනය නීති විරෝධී අයුරින් මෙම ඔෟෂධ සහ එන්නත් ගෙන්වා ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමිනි.

ආනයන බලපත්‍ර, විකිණීමේ බලපත්‍ර සහ ලියාපදිංචි බලපත්‍ර කිසිවක් නොමැතිව නීති විරෝධී අයුරින් මෙම ආයතනය මෙම එන්නතට අමතරව තවත් ඔෟෂධ සහ එන්නත් ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු කර ඇතැයි ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය කියයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර සහ ඔෟෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතාට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකරන ලද පුළුල් විමර්ශනයකදී කුරියර් සර්විස් හරහා කෙරෙන මෙම නීති විරෝධී ඔෟෂධ ජාවාරම හෙළි කරගෙන තිබේ.

ඒ අනුව මෙම නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හඳුන්වාදී ඇති ක්‍රමයට උපාය දූතයකු මාර්ගයෙන් මෙම ඛ්ධතර ර්ධචදඵ නමැති එන්නත සහිත ඔෟෂධ වට්ටෝරුවක් අදාළ කුරියර් සර්විස් ආයතනයට ඉදිරිපත් කර තිබේ.

පසුව එම ආයතනය විසින් එම එන්නත ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා වැය වන මුදලත් රේගු ගාස්තු සඳහා ගෙවිය යුතු විශාල මුදලත් සඳහන් කොට එම මුදල එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමට බැර කරන ලෙස උපදෙස් දී තිබේ.

ඒ අනුව උපාය දූතයා මාර්ගයෙන් එම මුදල අදාළ බැංකු ගිණුමට බැර කර ඇති අතර පසුව ඉන්දියාවේ සිට ගුවන් මගියකු හරහා  එම එන්නත් මෙම කුරියර් සර්විස් ආයතනයට ගෙන්වා එන්නත් කොම්පඤ්ඤවීදිය පිහිටි ඔවුන්ගේ කාර්යාලයේ තැන්පත් කර උපාය දූතයාට ඒ බව දැනුම් දී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් දැනුවත් වූ ආහාර සහ ඔෟෂධ පරීක්ෂකවරුන් උපාය දූතයා සමඟ එම එන්නත් ලබාගැනීම සඳහා කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි කුරියර් සර්විස් කාර්යාලයට කඩාවැදී නීති විරෝධී ලෙස ගෙන්වූ එන්නත් සිය භාරයට ගෙන තිබේ.

කිසියම් ඔෟෂධයක් අවශ්‍ය නම් අදාළ ඔෟෂධ වට්ටෝරුව මෙම ආයතනයට යොමු කිරීමෙන් පසු ඔවුන්  ඒ සඳහා ගෙවිය යුතු මුදල පෞද්ගලික බැංකුවකට තැන්පත් කිරීමෙන් පසු  ඕනෑම අයකුට මෙලෙස පිටරටින් ඔෟෂධ ලබාදීම සිදුකර ඇතැයි ඔෟෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි. පසුව එම ඔෟෂධ නිවෙස් කරා බෙදාහැරීම මෙම ආයතනය විසින් සිදුකර තිබේ.

මෙලෙස කුරියර් සර්විස් හරහා  ඔෟෂධ ගෙන්වීමත් අත්අඩංගුවට ගත් එන්නත් තොගයද ප්‍රබල ප්‍රතිජීවක ඔෟෂධයක් බැවින් මේ ආකාරයෙන් එම එන්නත් ගෙන්වා නිවෙසටම බෙදාහැරීම තහනම් ක්‍රියාවක් බවත් මේ පිළිබඳ කළ විමසීමකදී ආහාර සහ ඔෟෂධ පරීක්ෂකවරුන්ගේ ප්‍රධානි අමිත් පෙරේරා මහතා පවසයි.

ඔෟෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ආහාර සහ ඔෟෂධ ප්‍රධාන පරීක්ෂක අමිත් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත ආහාර යන ඔෟෂධ පරීක්ෂක මහින්දසිරි සහ සහායක ප්‍රමෝද් වීරකෝන් ඇතුළු කණ්ඩායම මෙම වැටලීම සිදුකෙරිණි.

කීර්ති මෙන්ඩිස්