නීතිවේදී පී.ඩබ්ලිව්. ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

0
9

පී. ඩබ්ලිව්. ජයතිලක 1960 දශකයේ එවකට ලංකා විශ්වවිද්‍යාලය නමින් ප්‍රකට වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිධරයෙකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. විශ්වවිද්‍යාලයෙන් පිටවී මහනුවර විද්‍යාර්ථ මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ මොහු, අනතුරුව රාජ්‍ය ආරක්‍ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපාධිධාරී භාෂා පරිවර්තකයකු වශයෙන්ද, කොළඹ මහජන පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපතිවරයකු වශයෙන් සහ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ පුස්තකාලයාධිපතිවරයකු වශයෙන්ද සේවය කළේය.

1972දී අධිනීතිඥවරයකු වශයෙන් නීතිඥ වෘත්තියට ප්‍රවේශ වී පසු කාලයේ ශ්‍රී  ලංකා අධිකරණ සේවයට ඇතුළත්වී මහෙස්ත්‍රාත්වරයකු වශයෙන් සේවය කර, පසුව විදේශගත වී ගී්‍රසියේ නැව් සමාගමක නීති නිලධාරියකු වශයෙන්ද, පසුව එංගලන්තයේ සොලිසිටර්වරයකු වශයෙන් නීතිඥ වෘත්තියට ප්‍රවිෂ්ටව නීති උපදේශකවරයකු වශයෙන් සේවය කළේය. මොහු ලේඛකයකු වශයෙන් නීති විෂය ක්‍ෂේත්‍රය පිළිබඳවත්, ඉතිහාසය විෂය ක්‍ෂේත්‍රය පිළිබඳවත් දැනුමට අමතරව අත්දැකීම් ලබා ඇති ප්‍රවීණයෙකි.

ඔහු විදේශගතව සිටියද තමන් උපන් රට අමතක කළේ නැත. තමන් ලද අධ්‍යාපනයෙන් හා දැනුමෙන් උපන් රටට කිසියම් සේවයක් කළ යුතුය යන පරමාර්ථයෙන් ඉතිහාසය සහ නීති විෂය ක්‍ෂේත්‍රයට අදාළව ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කළේය. මේ හැරෙන්නට සිංහල සහ ඉංගී්‍රසි ජාතික පුවත්පත්වලට ලිපි සම්පාදනයෙන්ද දායක වූයේය. එංගලන්තයේ පදිංචිව සිටි ඔහු මෑතදී හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු එංගලන්තයේදීම සිදු කෙරිණි.