දූවිලි පිරුණ පාරක් නිසා දුක් විඳින ගොඩකවෙල වැසියෝ

0
6

වසරක පමණ කාලයක සිට රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ පැල්මඬුල්ලේ සිට මාදම්පේ නගරය දක්වා මාර්ගය අබලන්ව තිබීම නිසා කිසිදු වාහනයකට ගමන් කළ නොහැකිව තිබේ. එසේම එම මාර්ගයේ ඇති දූවිලි නිසා දෙපස තිබෙන නිවාසවල දිවා රාත්‍රි දෙකේම ‍ෙදාර ජනෙල් වසා තැබීමට සිදුව ඇති අතර වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවගේ දෛනික කටයුතු අඩපණ වී ඇති බව ද එම ජනතාව කියති. පැල්මඬුල්ල නගරයේ සිට ගොඩකවෙල නගරයට ආසන්න කිලෝමීටර් 20ක් දුර මාර්ගය මෙසේ අබලන්ව ඇත. එසේ අපහසුතාවට පත් ජනතාව මෙසේ පැවැසූහ.

“මගේ වයසත් එක්ක මේ රත්නපුර ඇඹිලිපිටිය පාර කවදාවත් මේ විදිහට සවුත්තු වෙලා නෑ. දැන් අවුරුද්දකට වැඩියි පාර කැඩිලා. මොකෙක්වත් හදන්නේ නෑ. ඡන්ද කාලයට නම් ඡන්දෙ ඉල්ලාගෙන අර පක්ෂයෙන් මේ පක්ෂයෙන් කිය කියා එනවා. ඡන්දෙ ගත්තාට පසසේ එකෙක්වත් නෑ. කොරෝනා කාලෙදිවත් මේ විදිහට මුඛ ආවරණ දාගෙන හිටියේ නෑ. කඩේ වහලා දාලත් බෑ. ඇරගෙන ඉන්නත් බෑ. වැලි දූවිලිවලින් මුළු කඩේම පිරෙනවා.

මම දැන් කිහිප දවසක් බෙහෙත් ගත්තා. බෙහෙත් ගන්නත් ලොකු මුදලක් යනවා. මේ විධියට තව ටික දවසක් ගියොත් අපි මැරිලා යයි. අපි පාරට වතුර දාලා තමයි ටික වෙලාවක් හරි දූවිල්ල අඩු කරගන්නේ. වතුර දාන්නත් බෑ වතුර බිල අහස උසට නැඟලා. අනික වතුර දාලා දූවිල්ල අඩු කරන්න පුළුවන් පාරක් නෙවේ. පැයකට වාහන දාහක් විතර යනවා. අපි කියන්නේ නෙළුම් කුලුන වාගේ දේවල් නොකර ජනතාවට අත්‍යවශ්‍ය දේවල් ටික කරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේයැයි පවසා සිටියේ කේ.ඒ.එස්. පෙරේරා වෙළෙඳ ව්‍යාපාරික මහතායි.

ජේ.එම් ගීතානි මහත්මියද මෙසේ අදහස් දැක්වීය.

“අනේ දැන් අපිට වෙලා තියෙන්නේ උයා ගත්තු දේ කන්න බැරි තත්ත්වයක්. මේ පාර නිසා දැන් මාස ගණනාවකින් මේ ගෙදර ‍ෙදාර ජනෙල් ඇරියේ නෑ. ඇයි එහෙම ඇරලා තිබ්බොත් මුළු ගෙදරම දූවිලිවලින් වැහිලා යනවා. දැනට වහලා තිබිලත් ගෙවල් ඇතුළේ තිබෙන බඩු මුට්ටු ගන්න දෙයක් නෑ. අපි දැනටත් පුටු අල්මාරි කොටින්ම කියනවා නම් ගෘහ උපකරණ සියල්ල රෙදිවලින් වහලා දාලා තියෙන්නේ. මේ නම් මහ කරුමයක් අපිට අත්විඳින්න වෙලා තියෙන්නේ.

අනේ අපිත් දැන් නිකන්ම ලෙඩ වෙලා. මේ දූවිලිවලට සතියකට තුන් හතර පාරක් බෙහෙත් ගන්න යනවා. මේ ළඟදී කහවත්ත රෝහලේ වැඩ කරන මහත්තයෙක් යතුරුපැදිය වළක වැටිලා ඒක ගිහින් පාරේ ගමන් කරමින් තිබුණු ලොරියක වැදිලා ඒ මහත්තයා එතැනම මැරුණා. පාරක් නිසා තරුණ ජීවිතයක් අපරාදේ විනාශ වෙලා ගියා. රටේ ජනතාවගේ මුදලින් යැපෙන ආණ්ඩුවට සහ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් අහස උසට තිබියදී ඒ අය ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්න තමයි ඒ අයගේ අරමුණ.  සාමාන්‍යයෙන් පාරක වළක් තියෙන එක සාමාන්‍ය දෙයක් කියමුකෝ.

මේ කිලෝමීටර් 15ක් 20ක් පාර කැඩෙනවා. විශ්වාස කරන්නවත් බැරි දෙයක්. අපේ රටේ ඉන්න ගොන් දේශපාළුවොයි උන්ටම හරියන රාජ්‍ය නිලධාරීන් ඉන්නකන් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ කෙසේ වෙතත් තව ටික දවසක් ඉවසාගෙන බලන් ඉඳලා පාර හදන්නේ නැතිනම් මේ සියලු ගම්මානවල පිරිස් පාරට බහින්න තමයි අපි හිතාන ඉන්නේ” යැයි කීවාය.

“මේ පාර දෙපැත්තේ කඩවල්වල සහ ගෙවල්වල මිනිස්සු පුදුම දුකක් විඳින්නේ මේ පාරක් නිසා උයා ගත්තු එක කන්න විදිහක්, කඩේක කෑමක් බීමක් ගන්න විදිහක් නෑ. කොටින්ම කියනවා නම් කන බොන නොකන කිසිම දෙයක් තියාගන්න බෑ. දූවිලිවලින් එක විනාඩියක් යනකොට වැහිලා යනවා. දූවිල්ල නැති වෙන්න කියලා කොච්චර වතුර දාන්නද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ගොඩක් යන්නෙත් මේ රත්නපුර ඇඹිලිපිටිය පාරේ තමයි. උන්ගේ ඇස් පේන්නේ නැතුව ඇති. දවසකට වාහන කීයක් කැඩෙනවාද ඒ ගැනත් කියලා වැඩක් නෑ. දූවිල්ලෙන් බේරෙන්න දැන් මිනිස්සු කරන්නේ කුණු කානු පාරට හරවන එක. මේ පාර හැකි ඉක්මනින් හදලා දෙන්න කියලා තමයි කියන්නේ.” යැයි කියා සිටියේ ආර්.ජී. සරත් ජයතිලක මහතාය.

“මම රියැදුරෙක් තමයි. ඒත් රියැදුරු රැකියාව පවා එපා වෙනවා. හැමදාම දුනු කැඩෙනවා. පැච් යනවා. ටයර් විනාශ වෙනවා. මුන්ට මේවා පේන්නේ නෑ. පැය දෙක තුනකින් යන්න තියෙන ගමන පැය පහක් විතර යන්න වෙනවා. ගිලන් රථවල බබෙක් හම්බවෙන්න ඉන්න කාන්තාවක් එහෙම අරන් ගියොත් ගිලන් රිය ඇතුළෙම බබා හම්බවෙනවා. පැය භාගයකින් ලෙඩෙක් රත්නපුර මහ රෝහලට අරන් යන්න ගියොත් ඒ ලෙඩා  ගැන කතා කරලා වැඩක් නෑ. ඒ ලෙඩා මැරෙනවා. ඇයි ඉතින් මේ පාලකයෝ අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් කරන්නේ.

මුන්ට මොළයක් නැද්ද. එහෙම නැති නම් රටේ ජනතාව මරන්න හදනවාද? දැන් රටේ ජනතාවට කන්න නෑ. අඳින්න ගන්න විදිහක් නෑ. කුලියක් කරන්න තැනක් නෑ. ගෙයක් හදා ගන්න ක්‍රමයක් නෑ. වගාවක් කරන්න පොහොර නෑ. වගාවක් කළත් අස්වැන්නට මිලක් නෑ. ඒ මදිවාට තෙල් නෑ. පුදුම රටක් මේක. වහාම ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණොත් පසුගිය කාලයේ තරුණ පිරිස් විතරයි දේශපාළුවන්ට විරුද්ධව නැඟී සිටියේ. මේ විදිහට තව තවත් ජනතාව අපහසුතාවට පත් කළොත් බාල මහලු තරුණ සියලු දෙනාම එකතුවී දේශපාළුවන් එළවන අරගලයට එකතුවන කාලය වැඩි අෑතක් නැති බව කියන්න කැමැතියි“ යැයි කීය.

ගොඩකවෙල – ප්‍රියා