දිනේෂ් චන්දිමාල්ට සති 4ක නිවාඩුවක්

0
40

ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා පිලෙහි එම අවස්ථාවේදී පූර්ණ සුවය ලබා නොසිටි දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාර මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව “මව්බිම”ට වාර්තා වේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ වනවිට වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව සාමාන්‍ය පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරන නමුත් පසුගියදා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙහි අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට එක්කර සිටි දිනේෂ් චන්දිමාල් පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්ව ඇතැයිද දැනගන්නට ඇත. එහිදී වෛද්‍ය නිර්දේශය අනුව ඔහුට සති 4ක කාලයක් පමණ ක්‍රිකට් පිටියෙන් අෑත්ව සිටීමට සිදුව ඇතැයිද පැවැසේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “අපි කණ්ඩායම නම් කරන අවස්ථාවේදී දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාර 100%ක් පූර්ණ සුවය ලබා නොසිටියත්, ඔවුන් මේ වනවිට පූර්ණ සුවය ලබා සාමාන්‍ය පරිදි පුහුණුවීම් කරනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියානු තණතීරුවලදී ඔවුන්ගේ සහාය අපිට ඉතා වැදගත්.

ඒ නිසා ඔවුන් දෙදෙනා එක්වීම කණ්ඩායමේ සමබරතාවට වැඩි කිරීමට හේතුවේවි. කොහොම වුණත් නම් කළ කණ්ඩායමේ අතිරේක ලැයිස්තුවේ සිටි දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වෙලා තියෙනවා. ඔහුට සති 4ක් පමණ විවේකීව ඉන්න සිදුවේවි. ලෝක කුසලානයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳව අපිට දැන්ම නිගමනයකට එන්න බැහැ. තව ටික කාලයක් බලලා ඔහු වෙනුවට වෙන ක්‍රීඩකයකු අතිරේක ලැයිස්තුවට නම් කරනවාද නැද්ද කියලා තීරණය කරනවා”

මේ අතර වේගපන්දු තණතීරුවලට හුරුවීමක් වශයෙන් ශ්‍රී ලංකා පිල එළැඹෙන 25 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී සතියක පමණ පුහුණු සැසියක් සඳහා එක්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් ඔක්තෝබර් 2 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙවර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එහිදී ප්‍රධාන තරග වටයට එක්වීමට පෙර ශ්‍රී ලංකා පිලට සුදුසුකම් ලැබීමේ වටයට එක්වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.  එහිදී සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා පිල 16 වැනිදා නැමීබියාව සමඟත්, 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟත්, 20 වැනිදා නෙදර්ලන්තය සමඟත් තරග වැදීමට නියමිතව ඇත.

නම් කළ ශ්‍රී ලංකා පිල –  දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුසංක, ප්‍රමෝද් මධුශාන්අ තිරේක _ අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

විචිත්‍ර වීරසිංහ