දවසකට කුඩු ගහන්න රුපියල් හතළිස්දාහක් හොයන්න කාන්තාවන්ගේ චේන් කඩලා

0
4

කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල හා බොරලැස්ගමුවේ වයස අවුරුදු 28ක හා 29ක තරුණයන් දෙදෙනකු කුඩු ගහන්න දිනකට රුපියල් හතළිස්දාහක් හොයන්න කලක පටන් රත්නපුර හා අවට ප්‍රදේශවලට පැමිණ කාන්තාවන්ගේ චේන් කැඩීමේ  නිරතව සිටියදී රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

කුඩුවලට තදින් ඇබ්බැහි වී ඇති මෙම තරුණයන් යතුරුපැදියකින් කොළඹ සිට රත්නපුරට පැමිණ අතුරු මාර්ගවල ගමන් කරමින් රන් මාල පැලඳ ගමන් කරන කාන්තාවන් ලුහුබැඳ ඔවුන්ගේ මාල කඩා ඒවා කොළඹ ප්‍රදේශයට ගොස් විකුණා හෝ උකස් කර මුදල් ලබා කුඩු ගැසීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කරමින් සිටී.

කුරුවිට – කේ. ඒ. එස්. පියතිලක