තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය එන්නත් කර ලක්ෂ ගණන් මුදල් ඉපැයූ මවයි දියණියයි රිමාන්ඩ්

0
8

තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය එන්නත් කර දිනකට රුපියල් ලක්ෂ ගණනින්  මුදල් ඉපයූ බව කියන මවක හා දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු බව කියන මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ස්ථානයේ පවත්වාගෙන ගිය සැකකාරියගේ පුතුන් දෙදෙනකු බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සතුව තිබූ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී ඒවායේ ඇති දත්ත අනුව මොවුන් ඇතැම් දිනවල රුපියල් ලක්ෂ 5 – 7ක පමණ මුදල් ගනුදෙනු කර තිබෙන බව අනාවරණය වී තිබේ.

48 හැවිරිදි මෙම මව සහ 31 හැවිරිදි දියණියට හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබේ. කඩුගන්නාව රාජවත්ත ප්‍රදේශයේදී පිහිටි නිවෙසේදී අත්අඩංගුවට ගත් කාන්තාවකගේ පුතුන් දෙදෙනාද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් වැටලීම කළ අවස්ථාවේ ඔවුන් නිවෙසින් පැනගත් බව පොලිසිය පවසයි.

වැටලීම කළ අවස්ථාවේ අදාළ නිවෙස තුළ හා ඒ් අවට තිබී මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට යොදා ගන්නා එන්නත් කටු 300කට අධික ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.

එක් වරක් මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට රුපියල් 3,000 සිට 4,000 දක්වා මුදලක් මොවුන් ලබාගෙන තිබෙන බව දැනට කර තිබෙන පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කඩුගන්නාව පොලිසියේ අපරාධ අංශ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී. රත්නායක මහතාගේ මෙහෙය වීමෙන් වැටලීම කර ඇත. ඔත්තුකරුවන් යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම ජාවාරම කර තිබෙන බවද හෙළිව තිබේ.

මහනුවර – කේ.එල්. සුරවීර