ට්‍රැක්පහ ට්‍රැක් පැනපු පොරක් උදැල්ලකින් කොටා දෙන්නෙක් මරලා

0
28

ගල්ගමුව පොලිස් වසමේ ට්‍රැක්පහ, පළුකන්දාව ප්‍රදේශයේ බීමත් පුද්ගලයකු විසින් උදැල්ලකින් පහරදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

සිද්ධිය සැලවීමෙන් පසු සැකකරු පහරදුන් උදැල්ලද අතැතිව ගමේ සෙසු අයට තර්ජනය කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සැකකරුගේ බිරියගේ පියා සහ බිරියගේ සහෝදරියගේ පුතාය.

16 හැවිරිදි ලපයා පනික්කියලාගේ තරිඳු ලක්ෂාන් කුමාර සහ 62 හැවිරිදි රන්කොත් පේලිගේ කරුණාරත්න මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් 20 වැනිදා උදෑසන මෙම සැකකරු බීමත්ව පැමිණ නිවෙසේ ඇති භාණ්ඩ විනාශ කරමින් කාලය ගතකර තිබේ. පසුව සවස් කාලයේදී බිරියගේ පියා සහ බිරියගේ සහෝදරියකගේ පුතකු සමඟ සැකකරු ගැටුමක් ඇති කරගෙන ඇත.

තම බිරිය නිවෙසේ නොසිටීමත් ඇය අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බව කියමින් සැකකරු මොවුන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇති බව පොලිසිය කියයි. පසුව ආරවුල උත්සන්න වීමත් සමඟ සැකකරු බිරියගේ පියාට සහ බිරියගේ සොහොයුරියගේ පුතාට උදැල්ලෙන් පහර දී ඇත.

බිරියගේ පියා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබූ අතර බිරියගේ සොහොයුරියගේ පුතා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පසුව ගම්වාසීන් එක්ව සැකකරු අල්ලාගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත් පිහියක් සහ උදැල්ල අතැතිව සිටි සැකකරු එම ආයුධ පෙන්වා තර්ජනය කරමින් තමන් අල්ලන්න ආවොත් පහර දෙන බව කියමින් පලායන්නට උත්සාහ කර තිබේ.

පසුව මේ බව ගල්ගමුව පොලිසියට කළ දැනුම්දීමත් සමඟ පොලිස් කණ්ඩායමක් වහා පළුකන්දාව ප්‍රදේශයට ගොස් පලායෑමට උත්සාහ කරමින් සිටි සැකකරු උදැල්ලද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 42ක් වන සැකකරු පළුකන්දාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ඊයේ (21දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නිකවැරටිය කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජේ.කේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්ගමුව පොලිස් ස්ථානාධිපති එම්.එම්.එෆ්. පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

කීර්ති මෙන්ඩිස්